තුමුල ඉතිහාසයට ප්‍රවේශයක්

පෙරකතාව : මූලාරම්භයට පෙර

මානව ඉතිහාසයට ඔබ්බෙන් ඊටත් වඩා අති දැවැන්ත කාල පරාසයකින් අප වැළඳ ගත් ඉතිහාසයක් මේ මහ පොළොවටත් සමස්ත විශ්වයටත් තියෙනවා. මානව වංස කථාවට පූර්ව කථනයක් වන එය පසුබිම් කොට මානව ඉතිහාසය විස්තර කිරීම “තුමුල ඉතිහාසය” (big history) යනුවෙන් හැදින්විය හැකියි. කිසියම් දේශීය ඉතිහාසයක සුවිශේෂත් වය තේරුම් ගැනීම පිණිස අපට ලෝක ඉතිහාසය පිළිබඳ දැනීමක් අවශ්‍ය වනවා සේ ම, මහ පොළොවේ සහ විශ්වයේ ඉතිහාසය තුළ මානව ඉතිහාසයට ඇති තැන දැන ගැනීමට අපට ඊටත් වඩා විශාල පරිමාණයක සිතියමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව අපේ මානව ඉතිහාසයේ ඉම් කොන් ඉක්මවා කල්පනා කිරීමට නම් එකී පූර්ව ඉතිහාසය පිළිබඳ යම් දැනුමක් අපට අවශ්‍යයි.

විශ්වයට ඉතිහාසයක් නැති බවයි විසි වන ශතවර්ෂයේ මැද භාගය වෙන තෙක් ම බොහෝ තාරකා විද්‍යාඥයෝ විශ්වාස කළේ. මන්ද එවකට පැවති විශ්වාසය වූණේ විශ්වය සදාකාලිකව පැවතුණු, පැවතෙන දෙයක් බවයි. එහෙත් එම විශ්වාසය ඒ වන විට තරමක් සැකයට ලක් වෙමින් තිබුණා. 1920 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෙකු වූ එඩ්වින් හබල් විශ්වයේ වඩා ඈතින් පිහිටි බොහෝ ගැලැක්සි අපෙන් ඉවතට වේගයෙන් ගමන් කරමින් සිටින බවට සාක්ෂි සොයා ගත්තා. මේ සාක්ෂි නිසා විශ්වය යනු නිරන්තරයෙන් ප්‍රසාරණය වෙමින් පවතින වස්තුවක් විය හැකිය යන අපූරු අදහස ඇති වුණා. එහෙත් විශ්වය යනු ඒ අන්දමට ප්‍රසාරණය වන දෙයක් නම් අතීතයේ දී විශ්වය දැනට වඩා කුඩා වස්තුවක් වශයෙන් පැවතිය යුතුයි. ඒ අනුව සිතා බලන විට ඉතාමත් ඈත ගැඹුරු අතීතයේ කිසියම් අවස්ථාවක දී මේ විශ්වය පරමාණුවකටත් වඩා ඉතාමත් කුඩා දෙයක් බවට තෙරපී මිරිකී පවතින්නට ඇතැ’යි විද්‍යාඥයෝ උපකල්පනය කළා.

ඇත්තටම සිදු වන්නට ඇත්තේ එය ම බව තාරකා විද්‍යාඥයන්ට පිළිගත හැකි වන සාක්ෂි 20වන සිය වසේ මැද භාගය වන විට සොයා ගත්තා. ඒ අනුව ඉතිහාසයක් ඇත්තේ මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි. අපේ පෘථිවියටත් සමස්ත විශ්වයටත් ඉතිහාසයක් තියෙනවා. එකී සුවිසල් ඉතිහාසය පැවසීමටත් මානව ඉතිහාසය වඩාත් ගැඹුරු හා විද්‍යාත්මක වූ “නිර්මාණ කතන්දරයක්” ලෙස කීමටත් විසි වන සිය වසේ මැද සිට අපට හැකි ව තිබෙනවා. මේ විසි එක් වැනි සිය වසේ මුල වන විට අළුත් කර ගෙන තිබෙන අවබෝධය මත එකී සුවිසල් කතන්දරයේ සාරාංශයක් මානව ඉතිහාසයට පූර්ව කතාවක් ලෙස දැන් අපට පැවසිය හැකියි. (විශ්වයේ මූලාරම්භය විස්තර කරන විවිධාකාර නිර්මාණ කතන්දර හැම සමාජයක් තුළ ම පාහේ පැවතුණා. එකී නිර්මාණ කතන්දර විශ්වාස කළ අය ඒවා මිථ්‍යා කතා ලෙස සැලකුවේ නැහැ. මිනිසාගේ පැවැත්ම තේරුම් කිරීමට වෑයම් කළ එකී කතන්දර තුලින් බොහෝ විට නිරූපණය වු‍ණේ ඒවා බිහි වූ සංස්කෘතියයි.)

විශ්වවේදීන් විසින් “බිග් බෑන්ග්” යන හාස්‍යජනක නමින් හඳුන්වන සිද්ධියකින් මීට අවුරුදු බිලියන 13.8 (13,800,000,000) කට පෙර විශ්වය බිහි වුණා. අපේ ඓතිහාසික දින අතරින් ප්‍රථම දිනය වශයෙන් සැලකිය හැක්කේ එදායි. එහෙත් ඒ “බිග් බෑන්ග්” සිදුවීමට පෙර පැවතුණේ කුමක් ද යන්න ගැන අප දන්නේ නැහැ. එයට පෙර කාලයක්, අවකාශයක් හෝ එහෙම නැත්නම් හිස් බවක් වත් තිබුණා ද යන්න අප නිශ්චිතව දන්නේ නැහැ. එය විස්තර කිරීමට අවශ්‍ය කරන තොරතුරක් හෝ නියාමයක් ද තවමත් අප සතු ව නැහැ. ඒ නිසායි විශ්වය බිහි වීම ගැන විවිධාකාර නිර්මාණ කතන්දර ගෙතුණේ. එහෙත් නොකඩවා එන සාක්ෂි ගොන්නකින් තහවුරු වූ පරිදි විශ්වය බිහි වූ මෙහොතේ සිට අනුපිළිවෙළට සිදු වූ දෑ පිළිබඳ ව නූතන විද්‍යාවේ මූලික සිද්ධාන්ත වලට ගැළපෙන අන්දමේ විශ්වාසදායක කතන්දරයක් දැන් අපට කිව හැකියි.

විශ්වය බිහි වු‍ණේ ඉතා කුඩා, බොහෝ විට පරමාණුවකටත් වඩා කුඩා, දෙයක් ලෙසටයි. නමුත් ඒ තුළ අපේ මේ විශ්වය සැදීමට අවශ්‍ය කරන සියලු ම පදාර්ථ/ශක්තිය ගැබ් ව තිබුණා. එහෙත් එ් කුඩා විශ්වය කොතරම් උණුසුම් ව (උෂ්ණත්වය අංශක බිලියන අසංඛ්‍යෙය ගණනක්) තිබුණේදැ’යි කිව හොත් එ තුළ පදාර්ථ, ශක්තිය, පාටිකල්, අවකාශය සහ කාලය ආදී මේ සියල්ල ම එකට පැටලී කවළම් වී තිබුණ බවකුයි පෙනෙන්නේ. ශක්තියෙන් පිරී ඉතිරුණ ඒ ක්ෂුද්‍ර මාත‍්‍රික විශ්වය සැණෙන් පුපුරා ගොස් ආලෝකයේ වේගයටත් වැඩි වේගයකින් ප්‍රසාරණය වුණා. එසේ ප්‍රසාරණය වන විට විශ්වය සිසිල් වෙන්නට පටන් ගත්තා. හරියට හුමාලය සිසිල් වී දිය බින්දු බවට වෙනස් වෙනවා වගේ ම  ඒ සිසිල් වීමේ දී විශ්වයත් ප්‍රබල වෙනස් වීම් ගණනාවකට ලක් වුණා. ඒ අතරින් එක වෙනසක් තමයි විශ්වය ප්‍රසාරණය වීමේ පළමුවැනි තත්පරය තුළ දී සුවිශේෂ බල වර්ග බිහි වීම.  ඉන් එක බලයක් තමයි වස්තු එකිනෙක හා ආකර්ෂණය කරන ගුරුත්වාකර්ෂණ බලය. තව එකක් තමයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක හා ආකර්ෂණය කරන සහ සමාන ආරෝපණ එකිනෙකින් විස්ථාපනය කරන විද්‍යුත් චුම්බක බලය. සියලු පදාර්ථ හෙවත් ද්‍රව්‍ය වල අධි මූලික සංයුතිය වශයෙන් සැලකෙන ක්වාර්ක්ස් ඇති වුණේත් මේ අවස්ථාවේ දී මයි. එහෙත් මුල දී විශ්වය කොයි තරම් ප්‍රචණ්ඩ දැයි කිව්වොත් මුලින් ඇති වුණ මෙවැනි බොහෝ පාටිකල් බිහි වුණ විගස එකිනෙක හා ගැටී විනාශ වී ශක්තිය බවට පත් වුණා.

පළමු වෙනි තත්පරය අවසන් වන විට දී විශ්වයේ ප්‍රසාරණ වේගය අඩු වෙන්නට පටන් ගත්තා. මේ වන විටත් ප්‍රෝටෝන් සහ ඉලෙක්ට්‍රෝන් (ද්‍රව්‍ය සැදී ඇති පරමාණු වල මූලික කොටස්) වැනි අද අපට හඳුනා ගත හැකි දේවල් සමග අවම වශයෙන් සිව් ආකාරයක ශක්තිය ද ඇති වී තිබුණා. ආරෝපිත පාටිකල් සහ ශක්තියේ අති ව්‍යාකුල සංයුතියක් වූ ප්ලාස්මයක ස්වරූපය ගත් විශ්වයේ උෂ්ණත්වය ඒ වන විට අපේ සූර්යයාගේ මධ්‍යයේ දැන් තිබෙන උෂ්ණත්වයටත් වැඩියි. ඉන් වසර 380,000ක් ගත වූ පසු විශ්වය තවත් තීරණාත්මක වෙනසකට ලක් වුණා. එනම් ධන වශයෙන් ආරෝපණය වූ ප්‍රෝටෝන් වලට සෘණ වශයෙන් ආරෝපණය වූ න්‍යුට්‍රෝන් ග්‍රහණය කර ගත හැකි තරමට විශ්වය සිසිල් වීම නිසා ප්‍රථම වරට පරමාණු ඇති වීමයි. මේවා විද්‍යුතයික වශයෙන් උදාසීන වීම  නිසා  විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය සමග ප්‍රතික්‍රියා කළේ නැහැ. විශ්ව ඉතිහාසයේ මේ අවස්ථාවේ දී මුදා හැරුණු ශක්තිය ඊනියා විශ්ව පසුබිම් විකිරණය (cosmic background radiation) ලෙස අද පවා අනාවරණය කර ගත හැකියි. ස්ථිතික සංඥා ලෙස පරණ රූපවාහිනී යන්ත්‍රවලින් බලා ගත හැකි මේ පසුබිම් විකිරණය මේ කතන්දරය සත්‍යයක් බවට තහවුරු කරන ප්‍රබලතම සාක්ෂි වලින් එකක්.

මේ අවස්ථාව වන විට පදාර්ථ හෙවත් ද්‍රව්‍යවල ස්වරූපය බෙහෙවින් සරලයි. බොහොමයක් පදාර්ථ සැදුම් ගත්තේ නිදහසේ පාවෙමින් තිබූ හයිඩ්‍රජන් සහ හීලියම් පරමාණු වලින්. හයිඩ්‍රජන් පරමාණුවක් සැදී තිබුණේ එක ප්‍රෝටෝනයකින් සහ නි‍යුට්‍රෝනයකින්. නමුත් හීලියම් පරමාණුවක ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන් පරමාණු දෙක බැගින් තිබෙනවා. විශ්වයේ මුල්කාලීන අවුරුදු මිලියන ගණනාව පුරා හයිඩ්‍රජන් සහ හීලියම් පරමාණු වලින් සමන්විත අති දැවැන්ත වළා වන්ට වඩා යමක් නො තිබුණ තරම්. ඒ වළාවන් තුළින් නිකුත් වූ දැවැන්ත ශක්තිය නිසා තාරකා වලින් තොර විශ්වය යාන්තමින් මෙන් ආලෝකමත් වුණා.

අනතුරුව සිදු වූ ඉතා සංකීර්ණ සංසිද්ධීන් නිසා මේ නූතන නිර්මාණ කතන්දරයේ විස්මය ජනක වෙනසක් අති වුනා. ඒ අතරින් මුල් ම සංකීර්ණ සංසිද්ධිය තාරකා බිහි වීමයි. ප්‍රථම තාරකා වල නිර්මාපකයා වූයේ ගුරුත්වාකර්ෂණයයි. ඕනෑම ද්‍රව්‍ය කැබැල්ලක් වෙනත් ඕනෑම ද්‍රව්‍ය කැබැල්ලක් මත අන්‍යෝනය වශයෙන් ඇදීමක් හෙවත් ආකර්ෂණයක් ඇති කරන බව දාහත් වන සිය වසේ විසූ අයිසැක් නිව්ටන් පෙන්වා දුන්නා. අපේ දෙපා පොළොව මත පිහිටා සිට ගැනීමට අපට හැක්කේ එනිසායි. ඉන් පසු විසි වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ දී ඇල්බර්ට් අයින්ස්ටයින් ද්‍රව්‍ය පදාර්ථ සහ ශක්තිය යන දෙකම එක ම එක ස්වාභාවයක වෙනස් ආකෘති දෙකක් බවත් එනිසා ශක්තිය නිසාත් ගුරුත්වාකර්ෂණ බලපෑමක් ඇතිවෙන බවත් පෙන්වා දුන්නා. ඒ අනුව මුල්කාලීන විශ්වයේ තිබූ හැම ශක්ති සහ ද්‍රව්‍ය අංශුවක් ම එකිනෙක මත යම් පමණක ආකර්ෂණයක් ඇති කළා. අනුක්‍රමයෙන් මේ ගුරුත්වාකර්ෂණය මගින් ආදි කාලීන විශ්වයේ ඔබ මොබ සරමින් තිබූ හයිඩ්‍රජන් සහ හීලියම් පරමාණු වලින් සමන්විත ඒ අති දැවැන්ත වලාකුළු ද එකිනෙක හා ආකර්ෂණය කළා. ගුරුත්වාකර්ෂණයෙන් තෙරපී මිරිකුණු මෙවැනි වළාකුළු බිලියන ගණනාවක් ඒ වන විට ඇතිව තිබුණා. මෙසේ තෙරපී මිරිකී සංකෝචනය වන ප්‍රමාණයට අනුකූල ව ඒ වළාකුළු වල උෂ්ණත්වය ද ඉහළ ගියා. එසේ වැඩි වන උෂ්ණත්වය නිසා වළාකුළු තුළ තිබූ පරමාණු වේගයෙන් සංසරණය වෙමින් එකිනෙක හා සාහසික ලෙස ගැටෙන්නට පටන් ගත්තා. අනුක්‍රමයෙන් වලාකුළ මධ්‍යයේ උෂ්ණත්වය අවශ්‍ය පමණට ඉහළ ගිය විට හයිඩ්‍රජන් පරමාණු එකිනෙක හා සංයෝජනය (fusion) වුණා. මේ සංයෝජනය සිදුවීමේ දී හැම පරමාණුවකින් ම කොටසක් ශක්තිය බවට පරිවර්තනය වුණා. හයිඩ්‍රජන් පරමාණු බෝම්බයක් තුළ සිදු වන්නේ ද මේ කියන සංයෝජනය මයි. වලාකුළු මැද පිහිටි මේ දැවැන්ත “හයිඩ්‍රජන් බෝම්බ” වලින් නිකුත් වූ ශක්තිය ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිරෝධයක් වුණා. ඒ අනුව එසේ නිකුත් වන ශක්තිය වළාකුළු අතර පිහිටි සීතල හිස් අවකාශයට ගලා යන්නට පටන් ගත්තා. ප්‍රථම තාරකා බිහි වු‍ණේ විශ්වය බිහි වීමෙන් වසර මිලියන දෙසීයකට පමණ පසුවයි. අපේ සූර්යයා වගේ බොහෝ තාරකා තවත් වසර බිලියන සිය ගණනක් දැල්වෙමින් පවතී වි.

ගුරුත්වාකර්ෂණයේ බලපෑමට හසු වූ තාරකා විවිධ ගැලැක්සි වලට ගොනු වුණා. “ක්ෂීර පථය” යනුවෙන් හඳුන්වන අපේ ගැලැක්සියේත් අනෙක් හැම ගැලැක්සියක ම පාහේත් එසේ තනි තනි තාරකා බිලියන ගණනාවක් ගොනු වී තිබෙනවා. ඉන් අනතුරුව මේ ගැලැක්සිත් නොයෙක් ප්‍රමාණයේ පොකුරු වශයෙන් කණ්ඩායම් ගැසුණා. ගුරුත්වාකර්ෂණය නිසා ගැලැක්සි එකිනෙක හා ආකර්ෂණය වුනත් මේ තරම් සුවිශාල මට්ටමකට පැමිණි විට විශ්වයේ ප්‍රසාරණය වැළැක්වීමට තරම් ඒ ගැලැක්සි අතර ඇති වෙන ගුරුත්වාකර්ෂණය ප්‍රබල මදි. එනිසා විශ්වයේ ප්‍රසාරණය වන විට ගැලැක්සි පොකුරු අතර ඇති හිඩැස ද වැඩි වෙනවා.

අලුත් තත්ව යටතේ විශාල තාරකා නව ආකාරයේ සංකීර්ණතා  ජනිත කරන්නට පටන් ගත්තා. තාරකා විශාල වීම තාරකා තුළ වැඩි පීඩනයක් ඇති වීමට හේතු වෙනවා. පීඩනය වැඩි වන විට උෂ්ණත්වය ද වැඩි වෙන නිසා විශාල තාරකා වල ඇති තාප ශක්තිය බෙහෙවින් ම වැඩියි. ඒ අනුව විශාල තාරකා මධ්‍යයේ සිදු වන හයිඩ්‍රජන් පරමාණු සංයෝජන ක්‍රියාවලියේ වේගය වැඩි වී ගොස් තාරකාවේ ඇති හයිඩ්‍රජන් දහනය වීම අවුරුදු මිලියන ගණනාවකට පසු නතර වෙනවා. මෙ විට සිදු වන්නේ තාරකාවේ මැද කඩා වැටීමයි. ඒ අනුව උෂ්ණත්වය තවත් ඉහළ නංවමින් තාරකාවේ අවශේෂ කොටස් ද අනුක්‍රමයෙන් තාරකාව මැදට කඩා වැටෙනවා. මෙසේ උෂ්ණත්වය තවත් ඉහළ ගිය විට සිදු වන්නේ තාරකාවේ ඇති හීලියම් පරමාණු සංයෝජනයට භාජනය වී කාබන් වැනි වඩාත් සංකීර්ණ මූලද්‍රව්‍ය බිහි වීමයි. විටින් විට සිදු වන මේ කඩා වැටීම් නිසා තව තවත් ඉහළ යන උෂ්ණත්වය යටතේ ඒ අන්දමට පරමාණුක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන් විසි හයක් ඇති යකඩ දක්වා වූ මූල ද්‍රව්‍ය තාරකාව තුළ ඇතිවෙනවා. එහෙත් කොයි තරම් ලොකු තාරකාවකට වුණත් ඊට වඩා වැඩි ප්‍රෝටෝන් ගණනකින් යුත් මූලද්‍රව්‍ය නිපදවන්නට බැහැ. එවැනි තාරකා අවසාන වශයෙන් තාරකාවේ මැදට කඩා වැටෙන්නේ අතිශය උෂ්ණත්වයකින් යුත් “සුපර්නෝවා” යනුවෙන් හඳුන්වන දැවැන්ත පිපිරීමක් සමගයි. අන්න ඒ අවස්ථාවේ දී තමයි යකඩ ඉක්මවා ගොස් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන් අනූ දෙකක් ඇති යුරේනියම් දක්වා වූ මූල ද්‍රව්‍ය නිපදවෙන්නේ. එනිසා අප සැදුම් ලත් රසායනික මූලද්‍රව්‍ය මුලින් ම බිහි වුණේ විශාල තාරකා වල ඒ සුපර්නෝවා පිපිරී යාමේ දීයි. රසායන විද්‍යාව ඇති වුණේ සුපර්නෝවා නිසායි. සුපර්නෝවා පිපිරීම් ඇති නොවන්නට පෘථිවිය හෝ අප හෝ බිහි වන්නේ නැහැ.

බොහෝ විට ප්‍රථම සුපර්නෝවා ව පිපිරෙන්නට ඇත්තේ බිග්බෑන්ග් සිද්ධියට පසු අවුරුදු බිලියනය ඇතුළත විය යුතුයි. විශ්වයේ වඩාත් පැතිරි පවතින මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් හා හීලියම් වන නමුත් එදා සිට තාරකා අතර අවකාශය සුපර්නෝවා පිපිරීම් නිසා නිකුත් වූ සැලකිය යුතු සංකීර්ණ මූල ද්‍රව්‍ය ප්‍රමාණයකට නිවහන වුණා. නොයෙක් ආකාරයට සංයෝග වීමේ හැකියාව තිබූ මේ මූල ද්‍රව්‍යය වලින් අප ද ඇතුළු වඩා සංකීර්ණ දේවල් නිපද වුණා.

මේ සංකීර්ණ ද්‍රව්‍යය වලින් මුලින් ම නිපද වුණේ ග්‍රහලෝකයි. එකී සංකීර්ණ රසායනික ද්‍රව්‍ය වලට නිවහන වුණේ අපේ ක්ෂීරපථය වැනි ගැලැක්සි තුළ පැවති අන්තර්-තාරකා අවකාශයයි.  ඒ නිසා නව තාරකා බිහි වෙන විට මුලින් මෙන් ඒවා සැදුණේ හයිඩ්‍රජන් සහ හීලියම් වලට පමණක් සීමා වූ වලාවන්ගෙන් නොවෙයි, කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන්, යකඩ, රන්, රිදී, යුරේනියම් ඇතුළු ආවර්තිතා චක්‍රයේ ඇති හැම මූලද්‍රව්‍යයකින් ම පාහේ සමන්විත වූ වලාවන්ගෙන්. එවැනි සංකීර්ණ ද්‍රව්‍ය වලාවකින් තමයි මීට වසර බිලියන 4.5කට පෙර අපේ සූර්යයා ද නිපද වුණේ. ගුරුත්වාකර්ෂණය නිසා නොකඩවා මිරිකී සංකෝචනය වීම නිසා මේ සූර්ය නෙබ්‍යුලාව (එවැනි වලාකුළු හඳුන්වන්නේ නෙබ්‍යුලා යන නමින්) මැද ප්‍රබල ලෙස හයිඩ්‍රජන් සංයෝජනය වුණා. එහි ඵලයක් වශයෙන් අප “සූර්යයා” යන නමින් හඳුන්වන තාරකාව බිහි වුණා. මේ ක්‍රියාවලියේ දී සූර්ය නෙබ්‍යුලාවෙන් වැඩි කොටසක් එසේ බිහි වන සූර්ය තාරකාව විසින් ග්‍රහණය කර ගනු ලැබුවා. එහෙත් ඉතිරි පදාර්ථ ද්‍රව්‍ය කොටස් සූර්යයාට බැහැරින් සූර්යයා වටා නොකඩවා කරකැවෙමින් තිබුණා. මෙසේ කැරකෙන එක් එක් කක්ෂයේ දී පදාර්ථ පරමාණු එකිනෙක ගැටෙමින් ගොනු වෙමින් සෙමෙන් සෙමෙන් වෙන වෙනම හිම බෝල හැඩ ගැසුණා. (අපේ ග්‍රහලෝක බිහි වීමේ මේ අවස්ථාවට සමාන යැයි සැලකිය හැකි කොමට් හෙවත් ධූමකේතු ඇත්තටම මේ සුවිශාල හිම බෝල වලට වඩා මදක් ලොකුයි.) මේවා ගැටී එක්වීමෙන් අප ග්‍රහපිණ්ඩ (planetesimals) යනුවෙන් හඳුන්වන වඩාත් විශාල උල්කා සහ ග්‍රහක හෙවත් ඇසටොරොයිඩ ඇති වුණා. මෙසේ හැම කක්ෂයක ම අනුක්‍රමයෙන් බද්ද වී පොදි ගැසුණු ග්‍රහපිණ්ඩාදී කොටස් සහවර්ධනය (accretion) වී මෙන් ග්‍රහයන් ගණනක් ඇති වුණා. සූර්යයාගේ අධික උෂ්ණත්වය නිසා මේ අතරින් වායු ගහණ ග්‍රහයන් ඈත කක්ෂවලට යොමු වුණා. ඒ නිසායි සූර්යයාට ආසන්න ව පිහිටි බුද, සිකුරු, පෘථිවිය සහ අඟහරු යන ග්‍රහලෝක පාෂාණමය ග්‍රහලෝක වශයෙනුත් සූර්යයාට ඈතින් කක්ෂගත ව ඇති බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්ට්‍යුන් යන ග්‍රහයන් වායුමය ග්‍රහයන් වශයෙනුත් හැඳින් වෙන්නේ.

මුල්කාලීන පෘථිවිය අතිශයින් උණුසුම් භයංකර තැනක්. නොකඩවා වැටෙන උල්කා සහ ග්‍රහක, ප්‍රමාණයෙන් වැඩෙන විට ඇති වන අධික පීඩනය නිසා ගිනියමින් උණු වන පෘථිවි මධ්‍යය සහ බහුලව පැවති විකිරණශීලී ද්‍රව්‍ය, පෘථිවියේ ගිනියම් බව තව තවත් ත්‍රීව්‍ර කළා. යොවුන් පෘථිවිය කෙතරම් ගිනියම් වී දැයි කිව හොත් අවකලනය (differentiation)නම් ක්‍රියාවලියට ලක් වී වඩා බර යකඩ සහ නිකල් වැනි මූල ද්‍රව්‍ය පෘථිවියේ මැදට ගිලා බැස්සා. මේ ලෝහමය පෘථිවි මධ්‍ය නිසා බිහි වූ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය හේතු කොට ගෙන සූර්ය විකිරණයේ විනාශකාරී බලපෑමෙන් අප ආරක්ෂා වෙනවා.  මැන්ටලය යනුවෙන් හැඳින්වෙන  පෘථිවි මධ්‍යයට ඉහළින් ඇති ඊළඟ තට්ටුව සැදී ඇත්තේ මිරිකී ගිනියම් ව ද්‍රව වුණ බරින් අඩු ද්‍රව්‍ය වලින්. ඊටත් වඩා බරින් අඩු ද්‍රව්‍ය වලිනු යි පෘථිවිය මතු පිට සැදුම් ගත්තේ. පෘථිවිය මතු පිට වඩා වේගයෙන් සිසිල් වූ බැවින් අප පෘථිවි පෘෂ්ඨය යනුවෙන් හඳුන්වන කිලෝ මීටර කිහිපයක් ඝනකම ලෙල්ල ඇති වුණා. වඩාත් ම සැහැල්ලු ද්‍රව්‍යය වුණේ වායුවයි. යමහල් සහිත පෘථිවි පෘෂ්ඨයෙන් පිට වූ වායු වලින් පෘථිවියේ ප්‍රථම වායුගෝලය සැදුම් ගත්තා.

පෘථිවි ඉතිහාසයේ පළමුවැනි වසර මිලියන 500 හැඳින්වෙන්නේ “හේඩියන්” හෙවත් අවීචි යුගය නමින්. (හේඩියන් යනු යම ලෝකයට අධිපති යි.) නිරන්තරයෙන් පතිත වන ග්‍රහක වලින් එ් අවීචි යුගයේ දී මහ පොළොව ගිනියම් වී තිබුණා. පෘථිවි වායු ගෝලයේ නිදහස් ඔක්සිජන් තිබුණේ නැහැ. කිසිම ජීවියෙකුට එවැනි පරිසරයක  ජීවත් වීමට බැහැ. එහෙත් කෙමෙන් කෙමෙන් පෘථිවිය සිසිල් වීමට පටන් ගත්තා. අනතුරුව පොළොව වටා කරකැවෙමින් තිබූ දැවැන්ත වලාකුළු වල ඇති  ජල වාෂ්ප අනෝරා වැසි වශයෙන් මහ පොළොව මතට පතිත වී ප්‍රථම සාගර බිහි වෙන්නට පටන් ගත්තා.

මෙකී මුල්කාලීන සාගර තුළ නව ආකාරයක සංකීර්ණත්වය, එනම් ජීවය, ඇති වුණ බව බොහෝ දුරට නිසැකයි. රසායනික ප්‍රතික්‍රියා ඇතිවීමට කදිම වාතාවරණයක් තමයි ද්‍රව ජලය. වාතයේ දී පරමාණු වේගයෙන් ගමන් කරන නිසා එකිනෙක හා සංයෝජනය වීමට ඉඩ තියෙන අවස්ථා අඩුයි. ඒ වගේ ම ඝන ද්‍රව්‍යයක ඇති පරමාණු බොහෝ විට අචලව පවතින නිසා අන්‍යෝන්‍ය සංයෝජනයක් ඇති වෙන්නේ ම නැති තරම්. ජලය ඒ වගේ නොවෙයි. ජලයේදී රසායන ද්‍රව්‍ය සංචලනය වන නමුත් වාතයේ දී තරම් ඒ සංචලනය වේගවත් එකක් නොවෙයි. ඒ නිසා සංයෝග වීමට හැකියාව ඇති රසායන ද්‍රව්‍ය වලට ජලයේ දී සංයෝග වීමෙන් වඩාත් ආකුල රසායන ද්‍රව්‍යය නිපදවන්නට පුළුවන්. ආදි කාලීන මුහුදේ යමහල් වලින් හා රසායන ද්‍රව්‍යන්ගෙන් ගැවසී ගත් ගැඹුරු මුහුදු පතුලක වඩ වඩා සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා සිදු වුණා. මේ ප්‍රතික්‍රියා වලින් ජනිත වූ රසායන දුව්‍යවලින් ඇතැම් එ්වා මිහිපිට ප්‍රථම ජීවීන් වශයෙන් හැඩ ගැසුණා. මෙය සිදු වුණේ මීට වසර බිලියන 3.54 කට පෙර එනම් පෘථිවිය බිහි වී වසර බිලියනයක් ඉකුත් වූ විටයි. ප්‍රථමයෙන් බිහි වූ මේ සරල ඒක සෛලයික ක්ෂුද්‍ර ජීවීන්, ජීව විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ ප්‍රෝකැරියොට්ස් (Prokaryotes) යන නමින්.  අදටත් මිහි මත හැම තැන වෙසෙන ඉතා පොදු සත්ව විශේෂය වන්නේ මේ ප්‍රෝකැරියොට්ස් ජීවීන්. හැම ප්‍රෝකැරියොට්ස් වර්ගයක් මෙන් ම ප්‍රථමයෙන් බිහි වූ මේ ජීවීන් ද ප්‍රමාණයෙන් ගත්තොත් පියවි ඇසට නො පෙනෙන තරම් වන්නට ඇති. ඒත් සජීවි ජීවියෙක් මළකුණකින් වෙනස් කර දැක්විය හැකි හැම කටයුත්තක් ම මේ ජීවීන්ට කළ හැකි වුණා. ජීව විද්‍යාඥයන් විසින් මෙටාබොලිස්ම් (metabolism) හෙවත් පරිවෘත්තීය යනුවෙන් හඳුන්වන රසායනික ප්‍රතික්‍රියා උපයෝගී කර ගනිමින් අවට පරිසරයෙන් ශක්තිය උකහා ගැනීමේ හැකියාව මේ ජීවීන්ට තිබුණා.  එමෙන්ම අප DNA (deoxyribonucleic acid) යනුවෙන් හඳුන්වන අති සංකීර්ණ අණුවල ගුණ උපයෝගී කර ගෙන ඊළඟ පරපුර ලෙස තමන්ගේ ම අනුරුවට බෙහෙවින් සමාන පිටපත් නිපදවීමට ද මේ ජීවීන්ට හැකි වුණා. ප්‍රජනනය යනුවෙන් හඳුන්වන එය ප්‍රෝකැරියොට්ස් ජීවීන් එය සිදු කරන්නේ තමන් ම සරල ලෙස දෙකට බෙදී වෙන් වීමෙන් හෙවත් ක්ලෝන් (clone) කිරීමෙන්.

(මතු සම්බන්ධයි)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: