සේපියන්ස් සිංහල පරිවර්තනය හඳුන්වාදීමට කළ විවරණයක්

සේපියන්ස්
නිසැකව ම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු පොතක්.

නවකතා වැනි ප්‍රබන්ධ සාහිත්‍ය පරිවර්තන කෘති සැලකිය යුතු සංඛ්‍යාවක් නිතිපතා සිංහලෙන් පළ වන නමුත් වැදගත් විෂය කරුණු පිළිබඳ මහජන අවබෝධය වඩවන නිර්ප්‍රබන්ධ (nonfiction) පරිවර්තන කෘති සිංහලෙන් පළ වෙන්නේ කලාතුරකින්. වැඩි ම පාඨක අවධානයක් දිනා ගත් ඉංග්‍රීසි කෘති පිළිබඳ පිළිගත් අන්තර්ජාතික දර්ශකයක් වශයෙන් සැලකෙන නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ “බෙස්ට් සෙලර්ස්” ලැයිස්තුවේ නිර්ප්‍රබන්ධ කෘති අතර පළමුවැනි තැන මාස ගණනාවක් තිස්සේ දිනා ගත් ‘සේපියන්ස්’ කෘතිය දැන් සිංහලෙන් කියවන්නට ලැබීම දැනුම් පිපාසයෙන් පෙළෙන සිංහල පාඨකයන්ගේ වාසනාවක්.

අන්තර් ජාතික කීර්තියක් දිනා ඇති බොහෝ ශ්‍රාස්ත්‍රාලීය උගතුන් තම ශ්‍රාස්ත්‍රීය නිබන්ධනවලට අතිරේක ව සිය විෂය ක්ෂේත්‍රය පිළිබඳව මහජන අවබෝධය වඩවන පොත පත මහජනයා අතට පත් කිරීමට කටයුතු යොදනවා. ආචාර්ය යුවාල් නෝආ හරාරි විසින් ලියන ලද ඉමහත් ජන ප්‍රසාදයක් දිනා ගත් ‘සේපියන්ස්’ ද එවැනි කදිම නිර්ප්‍රබන්ධ කෘතියක්. අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති නොයෙකුත් ඌණතා නිසා නව දැනුම නිපදවීම අරමුණ කර ගැනීමට අපොහොසත් අප වැනි රටවල් අඩුම වශයෙන් ප්‍රමාණික උගතුන් පළ කරන එවැනි ජනප්‍රිය නිර්ප්‍රබන්ධ කෘති සිය බසින් වටහා ගැනීමට අපේ පාඨකයන්ට ඉඩ සැලසිය යුතුයි. කලකට පෙර ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ කාර්යභාරය විවරණය කරමින් කළ මැදිහත් වීමක දී මේ සම්බන්ධයෙන් අපට ජාතික වැඩ පිළිවෙළක් තිබීමේ අවශ්‍යතාව මා අවධාරණයට ලක් කළා. අවාසනාවකට අපේ රටේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන නොයෙකුත් ඡන්ද පොරොන්දු අතර පමණක් නොව රටේ අධ්‍යාපනික ප්‍රතිපත්ති තුළ පවා පොදු මහජනතාවට ඥානික පෝෂණය සපයන එවැනි වැඩ පිළියෙලවල් දක්නට නැහැ.

වෛද්‍ය මංජුල කල්දේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇති ආචාර්ය යුවාල් නෝආ හරාරිගේ ‘සේපියන්ස්’ නමැති පොතේ උප ශීර්ෂය මානව වර්ගයාගේ ඉතිහාසය යනුවෙන් සඳහන් කර තිබුණත් එහි වැඩිපුර ම අඩංගු වෙන්නේ අප අයත් මානව විශේෂය වන හෝමෝ සේපියන්ස්වරුන්ගේ පැවැත්ම පිළිබඳ ඉතිහාසයයි. නමුත් මේ කියන ඉතිහාසය පාසල් විෂයයක් වශයෙන් බොහෝ විට අසා පුරුදු ඉතිහාස කතන්දර වලට හා ඒවායේ විෂය පථයට වඩා බෙහෙවින් ම වෙනස්.


සාමාන්‍යයෙන් ඉතිහාසය යනුවෙන් පාසල්වල දී අපේ දරුවන්ට උගන්වන්නේ ලංකා ඉතිහාසය, ඉන්දියා ඉතිහාසය, යුරෝපා ඉතිහාසය ආදි වශයෙන් භූගෝලීය ව ඛණ්ඩනය කළ ඉතිහාස කතන්දර එහෙමත් නැත්නම් නූතන යුගය, මධ්‍යකාලීන යුගය පුරාතන යුගය හෝ අහවල් රජුගේ යුගය ආදී වශයෙන් කාල පරිච්ඡේද වශයෙන් ඛණ්ඩනය කළ ඉතිහාසයයි. මේ අන්දමින් දුටුගැමුණු, පරාක්‍රමබාහු, අශෝක, නැපෝලියන් බොනපාට් ආදී වශයෙන් යම් යම් චරිත පිළිබඳව හෝ සිදුවීම් පිළිබඳ කතන්දර දැන ගෙන සිටීම වැඩිහිටියන් විසින් තම දරුවන් සඳහා අනන්‍යතා ගොඩනගා දීමේ දීත්, දැනුම මිනුම තරඟ වල දී ත් සම්මුඛ පරීක්ෂණ වල සාමාන්‍ය දැනුම පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී ප‍්‍රයෝජනවත් වෙන්නට ඇති. ”History is one damn thing after another“ “ඉතිහාසය කියන්නේ එක කෙහල්මල් සිද්ධියකට පස්සෙ තවත් කෙහල්මල් සිද්ධියක් ඇතිවෙන එකයි” යන උපහාසාත්මක කීම ඇතිවෙන්නට ඇත්තේ ගණිතය, විද්‍යාව, වානිජ්‍ය වගේ ප‍්‍රයෝජනවත් යැයි සැලකෙන විෂයයන් හා සැසඳූ විට ඉතිහාසය දැන සිටීමෙන් ඇති වැඩේ කුමක් ද? යන ප්‍රශ්නය මතු කිරීමට විය හැකියි. බොහෝ විට එවැනි සම්ප්‍රදායික ඉතිහාසය උගන්වන්නේ තමන් අයත් යැයි සැලකෙන ජනවර්ගය අනෙකුත් ජනවර්ග වලට වඩා විශිෂ්ටය යන මුලාව අපේ දරුවන් තුළ තහවුරු කිරීමට සහ අනන්‍යතා දේශපාලනය තුල ජාති වාදය ඉස්මතු කොට ඡන්ද දායකයන් මුලා කිරීමටත් බව අප අත්දැක තිබෙනවා.

නමුත් ඉතිහාසයට අයත් විය යුතු විෂය පථය විමසන විට අපට පෙනී යන එක කරුණක් වන්නේ අපේ දරුවන්ට අප ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, දර්ශනය. ආගම යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් හඳුන්වා දෙන ක්ෂේත්‍ර සියල්ල මිනිස් සංහතියේ තුමුල ඉතිහාසයේ ම (Big History) කොටස් බව. තුමුල ඉතිහාසය නමැති සංකල්පය හඳුන්වා දුන් ආචාර්ය ඩේවිඩ් ක්‍රිස්ටියන් පෙන්වා දෙන අන්දමට තුමුල ඉතිහාසය විෂයයක් වශයෙන් විමසීම ආරම්භ කළ යුත්තේ අවුරුදු බිලියන 14 කට පෙර විශ්වයේ බිහි වීම පිළිබඳ දැනුමේ සිටයි. ඉතිහාසය මෙන් වෙස් වලා ගත් නොයෙකුත් බහුබුත අබිබවමින් යුවාල් නෝවා හරාරිගේ සේපියන්ස් කෘතිය මේ තුමුල ඉතිහාසයේ වැදගත් ම අවධියක් අපේ ප්‍රඥාව අවුලවමින් නවීනතම දැනුමෙන් උකහා ගත් ප්‍රබලතම සාක්ෂි සහිතව අපූරුවට දිග හරිනවා.

පෘථිවිය මත ජීවය බිහි වී දැනට වසර මිලියන 3800 ගත වී ඇති බවයි විද්‍යාඥයන්ගේ පිළිගැනීම. එහෙත් ඒ වසර මිලියන 3800 තුළ හෝමෝ නොහොත් මානව ගණයට අයත් සත්වයන්ගේ පැවතීම ආරම්භ වී තවම වසර මිලියන 2.4 කට වඩා වැඩි කාලයක් ගත වී නැහැ. හෝමෝ ගණයට අයත් එක මානව විශේෂයක් වන හෝමෝ සේපියන්ස් හෙවත් නැණවත් මානවයා යනුවෙන් හඳුන්වන අපේ පැවැත්ම ආරම්භ වී තවම ගත වී ඇත්තේ වසර 150,000ක් පමණයි. එය හෝමෝ නමැති මානව ගණය ඇති වී ගත වූ කාලයෙන් 6% ක් පමණයි. හෝමෝ ගණයට අයත් වෙනත් මානව විශේෂ අවම වශයෙන් 21 කක් පමණ පැවතුණ බවත් ඔවුන් අතරින් ඇතැම් විශේෂ එකම අවධියක ජීවත් වූ බව තහවුරු කරන ෆොසිල සාක්ෂි ලැබී තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපට සමකාලීන ව ජීවත් වුණු නියන්ඩතාල් නමැති මානව විශේෂය නෂ්ටප්‍රාප්ත වී ගියේ මීට අවුරුදු 30‍,000 කට විතර ඉස්සර තරම් මෑතකදීයි.

දැන් නෂ්ටප්‍රාප්ත ව ගොස් ඇති අනිකුත් මානව විශේෂ වලට වඩා සුවිශේෂ දියුණුවක් ලබා ගැනීමට හෝමෝ සේපියන්ස් නමැති අපේ මානව විශේෂයට සෑහෙන කලක් ගතවන තෙක් ම හැකියාවක් නො තිබුණ බව ආචාර්ය හරාරි මුලින් ම පෙන්වා දෙනවා. එහෙත් මීට අවුරුදු 30,000 ත් 70,000 අතර කාලය තුළ හෝමෝ සේපියන්ස් විශේෂයේ ඥානික (cognitive) හැකියාව දැවැන්ත ඉදිරි පිම්මක් පැන්නා. මේ පරිවර්තනය සිදුවීමට හේතු කරුණු පිළිබඳ අපට දැනට ඇත්තේ අනුමාන පමණයි. ආචාර්ය හරාරි එය මෙසේ විස්තර කරනවා.

“එයට හේතු වූයේ කුමක් ද ? අප එය නිසැකව නො දනිමු. බොහෝ කොට විශ්වාස කරනා මතයට අනුව හදිසියේ ම සිදු වූ ජාන විකෘතිතා හේතුවෙන් මිනිස් මොළයේ අභ්‍යන්තර සංනිවේදන ජාලය පූර්ණ වෙනසකට බඳුන් විය. එමගින් මිනිසා පෙර නො වූ විරූ මාවත් ඔස්සේ සිතන්නට පෙලඹුණු අතර නැවුම් භාෂාවන් හරහා සන්නිවේදනය කරන්නට විය.” (සේපියන්ස් – 26 වන පිට)

ඉන් පසු ඔහු භාෂාව නිසා මේ ඥානික විප්ලවය උත්තේජනය වූ ආකාරය කදිමට විස්තර කරනවා. අනිකුත් සත්ත්වයන්ට නොමැති සේපියන්ස්වරුන්ට පමණක් ඇති ඕපා දූප මෙන් ම ප්‍රබන්ධ ද ඇතුළුව සැබෑවට ම නො පවතිනා අමූර්ත දේවල් ගැන සිතීමට හා කතා කිරීමට ඇති හැකියාව ඥානික සේපියන්ස් සමාජය ගොඩ නැගීමට දායක වූ අයුරු හරාරි පහදා දෙනවා. මේ ඥානික විප්ලවය සිදු වුනාට පසුයි මීට අවුරුදු 11,000 කට පෙර බව බෝග වගාවට සේපියන්ස්වරු නැඹුරු වුණේ. එය හඳුන්වන්නේ කෘෂිකාර්මික විප්ලවය යන නමින්. අනතුරුව මීට අවුරුදු 500 කට පමණ පෙර විද්‍යා විප්ලවය ඇති වුණා. ඒ විද්‍යා විප්ලවයයි අවුරුදු 250 කට පමණ පෙර ඇති වුණු කාර්මික විප්ලවයට පදනම වුණේ. ඒ මත ගොඩ නැගුණු ඊළඟ විප්ලවය මෙයට වසර 50 කට පෙර ඇරඹුණු තොරතුරු තාක්ෂණික විප්ලවයයි. ඉන් පැණ නැගුණු විප්ලවය biotechnology revolution හෙවත් ජිව තාක්ෂණ විප්ලවයයි. ආචාර්ය හරාරි කල්පනා කරන අන්දමට ජීව තාක්ෂණ විප්ලවය හෝමෝ සේපියන්ස්වරුන්ගේ අවසානය සනිටුහන් කරන විප්ලවයක් වන්නට පුළුවන්. ජීව තාක්ෂණීය ඉංජිනේරු ශිල්පය හේතු කර ගෙන නිපදවිය හැකි පශ්චාත් මානවයන් හෝමෝ සේපියන්ස්වරුන් විස්ථාපනය කර දැමීමට ඉඩකඩ නැතැයි නො කිව හැකි බව ආචාර්ය හරාරි පෙන්වා දෙනවා.

අප විසින් තිරිඟු, සහල් වැනි ධාන්‍ය ගෘහාශ්‍රිත කොට හදා වඩා ගත්තාට වඩා සිදුවී ඇත්තේ ධාන්‍ය විසින් අප හදා වඩා ගත් බවයි ආචාර්ය හරාරි පෙන්වා දෙන්නේ. ඒ අනුව හෝමෝ සේපියන්ස්වරු කෘෂිකර්මාන්තය වැළඳ ගැනීම බලවත් අත්වැරැද්දක්. මන්ද ඒ මගින් මිනිසුන්ට හඳුන්වා දුන්නේ සිරුරට නොගැළපෙන ආහාර වර්ග පමණක් නොවෙයි, වැඩිපුර වැඩ කිරීමට සිදුවීම, සාගිනි අනතුරට ගොදුරු වීම, ලෙඩ වසංගත වලට ගොදුරු වීම, අනාරක්ෂිත භාවය සමග පූර්ව කෘෂි සමාජයේ නො තිබුණු පිළිකුල් සහගත සමාජ ධුරාවලියක් ඇති වීම පමණයි. එහෙත් ඒ බව අවබෝධ කරගන්නා විට හෝමෝ සේපියන්වරුන්ට ආපසු හැරෙන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. හරාරි කල්පනා කරන අන්දමට ගල් යුගයේ (stone age)ජන සමාජය කෘෂි සමාජයට වඩා ඛෙහෙවින් ප්‍රසන්නයි. ඒ බව පෙන්වන්නට ඔහු යොදා ගන්නා එක් උදාහරණයක් වන්නේ සීනි සහ මේද සහිත ආහාර ගැනීමට අපේ ඇති කෑදර කම අහිත කර සෞඛ්‍යයට හා කැත ශරීර කූඩු වලට අප ගොදුරු කරවන බවයි.

කෙසේ වෙතත් මේ කිසිදු විප්ලවයකින් වත් අපේ මූලික ස්වභාවය වෙනස් වී නැති බවයි ආචාර්ය හරාරි කල්පනා කරන්නේ. අප බොජුන් ගන්නා ගිජුබව, අපේ ගැටුම්ශීලී බව සහ අපේ කාමුක ලිංගික චර්යාව ඇත්ත වශයෙන්ම මෙගා නගර, ගුවන් ගමන්, දුරකථන, පරිගණක ආදියෙන් සමන්විත වර්තමාන පශ්චාත් කාර්මික යුගය සමග අප තුල ඇති දඩයම් යුගයේ මානසිකත්වය ගැටීම නිසා ඇති වන ඒවායි. අද අපි අහස සූරන මහල් නිවාස වල අපේ ශීතකරණ පුරවා ගණිමින් ජීවත් වූවත් අපේ ජාන සහ ඩීඑන්ඒ තවමත් කල්පනා කරන්නේ අදටත් අපි සැවැන්නා තණබිම් වල දඩයමේ යන අය බවයි.

‘සේපියන්ස්’ හුදෙක් අපේ මිනිස් විශේෂයේ සවිස්තර ඉතිහාසයක් පමණක් නොවේ. එය පශ්චාත් මිනිස් සමාජය කරා අප පිය තබන අන්දමත් සිත් කා වදින ලෙස විස්තර කරමින් බයෝනික තාක්ෂණය නිසා සිය ජීවවිද්‍යාත්මක සීමාවන් ඉක්මවා ගොස් නොමරණයට (amortal) එළඹීමට පශ්චාත් මානවයාට ඇති ඉඩ කඩ පෙන්වා දෙනවා. නොමරණය ළගා කර දීමට කටයුතු කරන ගිල්ගමේෂ් විද්‍යා ව්‍යාපෘතියෙන් තහවුරු කරගත් කරුණු ඔහු ඒ සඳහා යොදා ගන්නවා. එහෙත් නොමරණය යනු අමරණීයවීම ම නොවේ මන්ද ප්‍රචණ්ඩ සිද්ධියකින් මරණයට පත් නොවීමට නොමරණය හේතු වෙන්නේ නැහැ.

ආචාර්ය හරාරි පෙන්වා දෙන පරිදි නොමරණයට පත්වීම නිසා අපට අපමණ සතුටක් ලැබේයැ’යි නො සිතිය යුතුයි. ප්‍රකට සමීක්ෂණයක් උපුටා දක්වන ආචාර්ය හරාරි පුද්ගලයෙකුගේ එදිනෙදා සතුට ඔහුගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීම මත රඳා නො සිටින බව පෙන්වා දෙනවා. කෙනෙකුට ප්‍රමාණවත් තරම් මුදලක් තීබීම වැදගත් වන්නේ එමගින් ඔහු හෝ ඇය දුප්පත් කමින් මුදා ගන්නා තෙක් පමණයි. ඉන් පසු වැඩියෙන් මුදල් ලැබීම නිසා කෙනෙකුගේ සතුට වැඩිවන්නේ නැහැ. ලොතරැයි දිනුමක් ඇදුණු කෙනෙක් වාසනාවන්ත වෙන්නට පුළුවනි. නමුත් පළමුවැනි 18 මාසයට පසු ඔහුගේ හෝ ඇයගේ සතුට පෙර තිබූ මට්ටමට පහත වැටෙන බව හරාරි පෙන්වා දෙනවා. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ තර්කනයට බෞද්ධ දර්ශනයද ඉවහල් වී තිබෙනවා.

ආචාර්ය හරාරි ඇතැම් විට අපේ ප්‍රඥාව කුප්පන්නේ උපහාසය ද සමගින්. මේ එයට එක නිදසුනක්.
“ආචාර ධර්ම විද්‍යාවේ ඉතිහාසය කිසිවකුටත් අනුගමනය කළ නොහැකි වූ විශ්මයජනක පරමාදර්ශයෙන් පිරි සෝබර අන්දරයක් ම විය. බොහෝ කිතුබැතිමතුන් ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය නොකළ අතර බොහෝමයක් බෞද්ධයන් හට බුදුන් වහන්සේගේ මග අනුගමනය කළ නොහැකි විය. කොන්ෆියුසියුස් දහම අදහන්නන්ගෙන් බහුතරය කොන්ෆියුසිස්තුමාගේ කෝපාග්නිය දල්වනු ඇත.
ඊට වෙනස් ව අද දින බොහෝ දෙනා ධනවාදී පරිභෝජනවාදී පරමාදර්ශයන්ට අනුව සාර්ථකව ජීවත් වෙති. නව අචාරධර්මයන් විසින් පාරාදීසය පොරොන්දු වූයේ ධනවතුන් තවදුරටත් මසුරු ව වඩ වඩා මුදල් ඉපයීමටත් පොදු ජනයා තම ආශාවන් සහ අභිලාෂ කෙරේ ලිහිල් බවක් දක්වමින් තව තවත් බඩුබාහිරාදිය මිල දී ගැනීමටත් උත්සුක වුවහොත් පමණකි. මෙය වනාහී තම අනුගාමිකයන්ට කළ යුතුයැ’යි නියම කරන ලද දේ අකුරට ම පිළිපැදි ඉතිහාසයේ හමුවන පළමු ආගමයි. ඉදින් අප කෙසේ නම් ප්‍රතිලාභ ලෙස පාරාදීසය ලැඛෙන වග දැන ගන්නේ ද? අපි එය රූපවාහිනියෙන් දැක ඇත්තෙමු.” (සේපියන්ස් – 463 පිට)

‘සුභාවි ප්‍රකාශනයක් ලෙස පිටු 555කට පරිවර්තනය කර පළ කර ඇති ‘සේපියන්ස්’ කෘතියේ හැම වැකියක් ම අපට අප ගැන පෙර නො ඇසූ විරූ අන්දමකට විමසීමට බල කරනවා. මේ තරම් සිත් කා වදින ලෙස අපේ අතීතය වර්තමානය හා අනාගතය තුමුල ඉතිහාසය තුළ සන්දර්භ ගත කළ පොතක් මෙතෙක් සිංහල පාඨකයන්ට කියවීමට ලැබී නැහැ. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන මෙහි පරිවර්තකයා සිය වෘත්තීය දැනුම නිසා මුවහත් වූ මනා ද්විභාෂා පරිචයකින් යුතුව කැපී පෙනෙන කුසලතාවයකින් බස හසුරුවමින් සාමාන්‍ය පාඨකයාට කියවීමට හැකි පරිදි පොත සිංහලට පරිවර්තනය කර තිඛෙනවා. පරිවර්තිත ‘සේපියන්ස්’ කෘතිය හැකි හැම කෙනෙක් විසින් ම නිසැකවම කියවිය යුතු සහ කතා බහට ලක් කළ යුතු විශිෂ්ට නිර්ප්‍රබන්ධ කෘතියක්.

විජයානන්ද ජයවීර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: