විජයානන්ද ජයවීර
මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. තොරතුරු අයිතියේ නීත්‍යනුකූල හිමිකරුවන් වන පුරවැසියන්ට එම අයිතිය බාධාවකින් තොර ව භුක්ති විඳ ගැනීමට ඉඩ සැලසීමට එකී ආයතන සියල්ල නීතියෙන් ම බැඳී සිටී.
පොදු අධිකාරි සන්තක ව පවත්වා ගෙන යන තොරතුරු වලට ප්‍රවේශ වීම දෙයාකාරයකට කළ හැකිය. ඉන් එක් ක්‍රමයක් වන්නේ තමන්ට අවශ්‍ය කරන තොරතුරු මොනවා දැයි නිශ්චිත ව සඳහන් කරමින් පුරවැසියෙකු විසින් පොදු අධිකාරයකට යොමු කරනු ලබන අයදුම්පතකට පිළිතුරු ලෙස තොරතුරු ලබා ගැනීමයි. දෙවැනි ක්‍රමය වන්නේ එවැනි විශේෂ ඉල්ලීමක් නො ලැබුණ ද පොදු අධිකාරියක් සිය කැමැත්තෙන් ම තමන් සතු පළ කළ හැකි හැම තොරතුරක් ම ප්‍රගාමී ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම මගින් තොරතුරු ලබා ගැනීමයි. පළමු ක්‍රමය ප්‍රතික්‍රියක අනාවරණය (Reactive Disclosure) ලෙස ද පොදු අධිකාරියක් සිය කැමැත්තෙන් කල් තියා ම තොරතුරු ප්‍රසිද්ධ කිරීම ප්‍රගාමී අනාවරණය (Proactive Disclosure)ලෙස ද හැඳින්විය හැකිය.
තොරතුරු අයිතිය පිළිබඳ අපේ නීතිය ප්‍රතික්‍රියක අනාවරණය සම්බන්ධයෙන් නම් අතිශයින් ම ප්‍රබල ය. තොරතුරු ඉල්ලා සිටීම, ඉල්ලීම ඉටු කිරීමට නියමිත කාලය, හෙළි නො කරණ තොරතුරු (වඩා වැදගත් මහජන අවශ්‍යතාවක දී හැර), තොරතුරු ඉල්ලීම් පිළිබඳ ආරවුල් විනිශ්චය කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ දී පැනවෙන දඬුවම් ආදී දෑ පිළිබඳ නිශ්චිත විධිවිධාන පනතේ වෙසෙසින් ම සඳහන් වේ. මෙලෙස තොරතුරු අයිතිය පිළිබඳ පනත ප්‍රතික්‍රියක අනාවරණය මුල් කොට සකසා ඇති නිසා හුදෙක් තොරතුරු අයිතිය භුක්ති විඳීමේ සම්මත ක්‍රමය විය යුත්තේ පුරවැසියන්ගෙන් ලැබෙන පුද්ගලික ඉල්ලුම් මත තොරතුරු සැපයීම හෙවත් ප්‍රතික්‍රියක අනාවරණය ම බව බොහෝ පරදු දරන්නන් (stakeholders) නිගමනය කර ඇති බවක් පෙනේ.
කෙසේ වෙතත් අපේ තොරතුරු අයිතිය පිළිබඳ නීතිය හා සසඳන විට ඉන්දියාවේ තොරතුරු අයිතිය පිළිබඳ නීතිය ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් ද වඩා ප්‍රබල ස්ථාවරයක් ගනී. අපේ නීතියට අනුව පොදු අධිකාරියක් විසින් ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ව තිබුණේ තොරතුරු අයිතිය ඉටු කර දීම සම්බන්ධයෙන් එකී පොදු අධිකාරිය විසින් ඉටු කරන ලද කටයුතු පිළිබඳ ව අර්ධ වාර්ෂික වාර්තා සහ පනත මගින් නිශ්චය කොට දක්වා ඇති පිරිවැය සීමා වලට අයත් ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාල ව්‍යාපෘතියේ බලපෑමට ලක් වන අයට ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු කල් තබා දැන ගැනීමට සැලැස්වීමත් ය. ඒ හැරෙන විට ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය ලෙස සැලකිය හැකි වෙන කිසිවක් අපේ මුල් පනතේ නො තිබුණි.
එහෙත් ඉන්දීය තොරතුරු නීතිය එසේ නොවේ. හැම පොදු අධිකාරියක් විසින් ම ප්‍රගාමී ලෙස අනාවරණය කළ යුතු තොරතුරු වර්ග මොනාවාදැ’යි සවිස්තර ලෙස ඉන්දීය නීතියේ හතරවැනි වගන්තියෙන් දක්වා තිබේ. එලෙස නම් කර ඇති තොරතුරු වර්ග ආයතනික පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ය. පනත සම්මත වූ දා සිට දින120ක් ඇතුළත දී පනතේ සඳහන් ප්‍රගාමී තොරතුරු අනාවරණය ඉටු කළ යුතු බව ද ඉන්දීය නීතියේ වෙසෙසින් දැක්වේ. ඒ අනුව ප්‍රගාමී තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් අපේ පනතේ තිබූ මේ මදි පාඩුව වටහා ගත් තොරතුරු කොමිසම යම් නිශ්චිත ආකෘතියකින් තොරතුරු සැපයීමට පොදු අධිකාරි වලට නියෝග කිරීමට තොරතුරු පනතේ 15(ඈ) වගන්තිය යටතේ එයට ලැබී තිබෙන බලතල වලට අනුව සෑම පොදු අධිකාරියක් ම ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු ලැයිස්තුවක් පනත යටතේ ගැසට් කරන ලෙස විෂය භාර ඇමතිවරයාට උපදෙස් දුන්නේ ය. ඒ අනුව 2017 පෙබරවාරි 03 වැනි දින සිට බලාත්මක වන පරිදි ප්‍රගාමී ලෙස හැම පොදු අධිකාරියක් ම ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු වර්ග විස්තර කෙරෙන අංක 20 දරන රෙගුලාසිය ඇමතිවරයා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කරන ලදී. මේ රෙගුලාසියට අනුව ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත තොරතුරු මොනවාද යන්න ප්‍රගාමී අනාවරණය සඳහා මනා මූලෝපායක් රජයට තිබිය යුතු ය යන කාරණය සාකච්ඡා කරන විට සවිස්තරව සලකා බලමු.
ඉන්දීය තොරතුරු පනතේ සිව්වැනි වගන්තියට අනුව තොරතුරු නීතිය පිළිපැදීමට ප්‍රගාමී තොරතුරු අනාවරණය අත්‍යවශ්‍ය වූ නමුදු එහි ප්‍රායෝගික අත්දැකීම පෙන්නුම් කරන පරිදි තොරතුරු නීතිය ක්‍රියාත්මක වී වසර හයක් ගත වූ පසුව ද ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීම පැවතුණේ දුර්වල මට්ටමකයි. මේ ඌනතාවය සොයා බලා විසඳුම් යෝජනා කිරීමට ඉන්දීය රජය විසින් 2011 දී පත් කළ කාර්ය සාධක බලකා වාර්තාවට අනුව “ පනතේ සිව්වැනි වගන්තියෙන් බලාපොරොත්තු වන ප්‍රගාමී තොරතුරු අනාවරණය දුර්වල වීමට යම් පමණකට හේතු වී ඇත්තේ එම වගන්තියේ එන ඇතැම් කරුණු සවිස්තර ලෙස නො දැක්වීම සහ වගන්තිය මුලුමනින් ම බල ගැන්වීම පිණිස සුදුසු පිළිපැදීම් යන්ත්‍රණයක් නො වීමයි” . මේ අත්දැකීමෙන් පෙන්වා දෙන්නේ සුදුසු මූලෝපායකින් හා එය ක්‍රියාත්මක කළ හැකි පිළිපැදීම් යන්ත්‍රණයකින් තොර ව රෙගුලාසි අංක 20 සඳහන් පරිදි ප්‍රගාමී තොරතුරු අනාවරණ අවශ්‍යතා ඉටු කිරීමට නීතියෙන් ඇති බැදීමට අවම වශයෙන් අනුකූල වීම පවා බොහෝ පොදු අධිකාරි වලින් බලාපොරොත්තු වීම අසීරු බවකි.
ප්‍රගාමී අනාවරණය යනුවෙන් ඇත්ත වශයෙන් ම හඳුන්වන්නේ අයදුම්පත් වලට අනුව ඉල්ලුම් කරන පුරවැසියන්ට පමණක් මදින් මද තොරතුරු ලබා දීමකට සීමා නොවී විවෘතව මහජනතාවට ප්‍රසිද්ධියේ දැන ගැනීමට සැලැස්වීම පිණිස සැම පොදු අධිකාරියක් ම තමන් සතු සියලු තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. තමන්ට කළ හැකි උපරිම අන්දමින් ප්‍රගාමී ව තොරතුරු අනාවරණය කිරීම තොරතුරු පනතේ අරමුණ පිළිබඳ ව, විශේෂයෙන්ම එහි පූර්විකාවේ ඉස්මතු කර ඇති වගවීම සහ පාරදෘෂ්‍යභාවය යන අභිප්‍රාය සම්බන්ධයෙන් පොදු අධිකාරියකට ඇති කැපවීම පිළිබිඹු කරයි. තොරතුරු අයිතිය පනත යටතේ ප්‍රගාමී තොරතුරු අනාවරණය පිළිබඳ රෙගුලාසිය හඳුන්වා දීමට පෙර පොදු අධිකාරි වල පාරදෘෂ්‍යභාවය පොදුවේ මහජන සංනිරීක්ෂණයට ලක් කළ හැකි ක්‍රමවේදයක් අපට නො වීය. කෙසේ වෙතත් පාරදෘෂ්‍යභාවය හා වගවීම පිළිබඳ ආයතනික කැපවීම කෙරෙහි මහජන විශ්වාසය වැඩි විය හැක්කේ එම ආයතන ප්‍රතික්‍රියක අනාවරණයට වඩා ප්‍රගාමී අනාවරණයට බර තබා කටයුතු කරන විට ය.
පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉටු කර දීම යනු පොදු අධිකාරියක් විසින් හුදෙක් අයදුම්කරු ට පමණක් තොරතුරු ලබා දීම නොව මුලු මහත් සමාජයට ම දැන ගැනීමට හැකි වන අන්දමට පොදුවේ තොරතුරු හෙළිදරව් කිරීමයි. ඉන්දීය නීතිය මෙන් නොව අපේ තොරතුරු නීතිය යටතේ පනවන ලද අංක 20 දරන රෙගුලාසිය මගින් පොදු අධිකාරියක් විසින් ප්‍රගාමී තොරතුරු අනාවරණය ඉටු කරනු ලැබිය යුතු නිශ්චිත කාලයක් නියම කර නැත. එහෙත් ප්‍රගාමී ලෙස පළ කළ යුතු තොරතුරු ලෙස එම රෙගුලාසියෙන් හුවා දක්වා ඇති කරුණු ඕනෑම පොදු අධිකාරියකට පාරදෘෂ්‍යභාවය හා වගවීම සම්බන්ධයෙන් සිය කැපවීම පිළිබිඹු කර දැක්වීමට තරම් ප්‍රමාණවත් ය. ඒ අනුව අඩු ම වශයෙන් රාජ්‍ය අංශයේ පොදු අධිකාරි සියල්ල නිශ්චිත කාලයක් තුළ රෙගුලාසි අංක 20 මුලුමනින් ම පිළිපැදීමට මෙහෙයවිය හැකි මූලෝපායක් රජය වසින් සකසා ක්‍රියාවට නැංවිය යුතු ය. ප්‍රතික්‍රියක අනාවරණය සාක්ෂාත් කර ගැනීමට මහත් උනන්දුවක් දැක්වූ පුරවැසි සංවිධාන ද එයටත් වඩා උනන්දුවක් ප්‍රගාමී අනාවරණය සාක්ෂාත් කර ගැනීමට යෙදිය යුතු ය. ප්‍රගාමී අනාවරණය තොරතුරු අයිතියේ මූලික ප්‍රතිමානය (norm)බවට පත් කර ගැනීම රජයටත් පුරවැසියන්ටත් අතිශයින් වැදගත් වන හේතු ගණනාවක් තිබේ.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ
විවිධ පොදු අධිකාරි මගින් සලසන සේවා හා ඒවා ලබාගන්නා ආකාරය පුරවැසියන්ට දැනුම් දීම රජයකට ප්‍රගාමී තොරතුරු අනාවරණය තුළින් පහසුවෙන් ම කළ හැකිය. එමගින් මහජන යහපත උදෙසා ගනු ලබන සංයුක්ත පියවර පැහැදිලි කර දීමට රජයට අවස්ථාව ලැබෙන අතර එකී කටයුතුවලින් නිසි පල ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය තොරතුරු එක හා සමානව ලබා ගැනීමට ද සියලු රටවැසියන්ට අවස්ථාව සැලසේ.
රජය තුළ හා විවිධ පොදු අධිකාරි අතර අන්තර් ආයතනික වශයෙන් තොරතුරු සංසරණය වීම දියුණු කිරීමට ද ප්‍රගාමී අනාවරණය හේතුවෙයි. විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන භාරයේ ඉතා වැදගත් තොරතුරු සම්භාරයක් තැනින් තැන හුදකලාව ගබඩා වී පවතී. මේ තොරතුරු එකී ආයතන වල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියේ බෙදා හදා ගැනීමට හැකි නම් එම ආයතන වල භූමිකාව හා ඉටු විය යුතු මහජන සේවා සම්බන්ධයෙන් වඩා පැහැදිලි චිත්‍රයක් මහජනතාවට ලබා දීමට හැකි වේ. එසේ මහජනතාව සමග තමන් සතු තොරතුරු විවෘතව බෙදා ගැනීම එකී ආයතන වල ප්‍රසිද්ධියටත් හා ඒවා මගින් ඉටු කෙරෙන කටයුතු පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීමටත් හේතු වෙයි.
ආයතනික මට්ටමින් කෙරෙන ප්‍රගාමී තොරතුරු අනාවරණය විවිධ ආයතනවලට හා ඒවායේ කාර්ය මණ්ඩල වලට එකී ආයතන අතර අන්තර් අවබෝධය ඇති කර ගැනීමට ත් එමගින් තම සේවා වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගැනීමේ ලා පොදු එළඹීම් වලට අවතීර්ණ වීමට අවශ්‍ය කෙරෙන අන්‍යෝන්‍ය සහයෝගිතාව වඩා ගැනීමටත් වැදගත් ය. විවෘත තොරතුරු පද්ධතියකින් තොර ව රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ම ආයතනය සතු තොරතුරු පමණක් නොව සිය රාජකාරි සම්බන්ධයෙන් වැදගත් වන අනෙකුත් ආයතන සතු ව ඇති තොරතුරු පහසුවෙන් ලබාගැනීමට අපහසු වීම රජයේ පරිපාලන කටයුතුවල පිරිවැය හා අකාර්යක්ෂමතාව ඉහළ යාමට එක් හේතුවකි. බොහෝ විට රාජ්‍ය අමාත්‍යාංශයක සමස්ත පරමාර්ථය පිළිබඳ ව ඒත්තු යන සුලු පින්තූරයක් ගොඩනගා ගැනීමට පුරවැසියන්ට අපහසු වීමට එක් හේතුවක් වන්නේ සිය භූමිකාව එකී අමාත්‍යාංශය යටතේ සාධාරණීකරණය කළ හැකි අන්දමට අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන තමන් සතු තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රචාරණය නො කිරීමයි.
මහජන ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩු තම කල්කිරියාව මෙන් ම වියහියදම් ගැන ද මහජනතාවට වගවිය යුතු ය. රජයේ වියපැහැදම් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ම ප්‍රසිද්ධ කිරීම ‘අපට කිසිවක් සැඟවීමට නැත’ යන්න රජයෙන් ප්‍රකාශ වීමකි. ආයතනික වියදම්, ප්‍රසම්පාදන කටයුතු, මිළදී ගැනීම්, ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඈ දේවල් පිළිබඳ සියලු තොරතුරු මහජන සංනිරීක්ෂණය පිණිස ප්‍රසිද්ධ කිරීම දූෂණය හා වංචාව අධෛර්යමත් කිරීමට හේතු වන අතර අනිසි බලපෑම් වලින් තොර ව විෂයබද්ධ ලෙස තීරණ ගැනීමට ආයතන අධිකාරීන් පොලඹවයි. ප්‍රසම්පාදන, මිළ දී ගැනීම් පිළිබඳ පාරදෘෂ්‍යභාවය තරඟකාරී භාණ්ඩ හා සේවා සැපයුම් වලට ද හේතු වෙයි. එමෙන්ම වියදම කීය ද, කුමක් සඳහා කිනම් ප්‍රතිඵලයක් සහිතව ද යන්න නො සඟවා දැන ගැනීමට සියල්ලන්ට ම අවස්ථාව සලසයි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ඉල්ලා ලැබෙන තනි තනි අයදුම්පත් වලට පිළිතුරු සැපයීමේ දී තොරතුරු ඉල්ලන්නාට මෙන් ම තොරතුරු සැපයීමට බැඳී සිටින ආයතනයට ද ඒ එක් එක් ඉල්ලීමක් පාසා කිසියම් පිරිවැයක් හා කාලයක් වැය කිරීමට සිදුවේ. එහෙත් එකී තොරතුර ප්‍රගාමී අනාවරණය යටතේ ප්‍රසිද්ධ කර ඇත්නම් එසේ තනි තනි ඉල්ලුම් වලට තොරතුරු සැපයීමට ආයතන වලට වැය කිරීමට සිදු වන සම්පත් හා කාලය අවම කර ගැනීමට හැකි වේ. තමන්ට අවශ්‍ය කරන තොරතුරු දැනටමත් ආයතනය විසින් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත්නම් ඒවා ලබා ගැනීම පිණිස නැවත තනි තනි අයදුම්පත් ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අවශ්‍ය නොවනු ඇත. ප්‍රගාමී අනාවරණය නිසා අවශ්‍ය තොරතුර හුදෙක් එය ඉල්ලුම් කරන්නාට පමණක් නොව විශේෂ ආයාසයකින් තොර ව සියල්ලන්ට ම එක ම විටක දී ලබා ගත හැකිය. එසේ සුවිශේෂී ඉල්ලුම් කිරීමකින් තොරව තමන්ට අවශ්‍ය කරන තොරතුරු නිරායාසයෙන් ම සැක හැර දැන ගැනීමට මහජනතාවට හැකි වීම ආණ්ඩු කරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය වැඩි කරලීමට හේතු විය හැකිය.
මේ නිසා සියලු පොදු අධිකාරීන් තමන් සතු අනාවරණය කළ හැකි හැම තොරතුරක් ම ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම මගින් තොරතුරු ලබා ගැනීම පිණිස තොරතුරු පනතේ එන ප්‍රතික්‍රියක අනාවරණයේ පිහිට පුරවැසියන්ට නිරන්තරයෙන් ම ලබා ගැනීමට සිදුවීම අවම කළ යුතු ය. ප්‍රගාමී තොරතුරු අනාවරණය සිය ආයතනික සංස්කෘතිය ලෙස කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර තහවුරු කිරීම පොදු අධිකාරි වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ළා අත්‍යවශ්‍ය කළමනාකරණ සාධකයකි.
ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා පුරවැසියන්ගේ දැනුවත් සහභාගීත්වය
ප්‍රගාමී ලෙස තොරතුරු බෙදා හැරීම ප්‍රතිපත්ති සම්පාදනයේ ලා රජය, පුරවැසියන් සහ ව්‍යවසායකයන් අතර ඇතිවිය යුතු අන්තර් සංනිවේදනයට ඉතා වැදගත් වේ. ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා පුරවැසියන්ගේ දායකත්වය ලබා ගැනීමට නම් ඔවුන්ට නිති රෙගුලාසි, පවතින ප්‍රතිපත්ති, මූලෝපාය මෙන් ම දැනට සැලකිල්ලට ලක් වී ඇති අනෙකුත් විකල්ප පිළිබඳ තොරතුරු පහසුවෙන් ම ලබා ගැනීමට හැකි විය යුතු ය. ආයතනික වෙබ් අඩවිය ඔස්සේ අන්තර් ජාල පාදක පුවත් නිවේදන, අන්තර්ජාල සංසද, බ්ලොග්, ප්‍රජා ජාල, ඊමේල්, ටෙක්ස්ට් පණිවිඩ ආදිය මගින් එවැනි තොරතුරු බෙදා හැරිය හැකි වේ. ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ මහජන උපදේශන (public consultation) සාර්ථක වීමට නම් ඒවායේ සඵලදායීබව පිළිබඳ ව මහජන විශ්වාසය තහවුරු වීය යුතු ය. උපදේශන දායකත්වය සඳහා මහජන යෝජනා ලැබුණු බව පිළිගැනීම හා ඒ සම්බන්ධයෙන් ආයතනික ප්‍රතිචාරය දැක්වීම එහි දී අත්‍යවශ්‍ය වේ.
උදාහරණයක් වශයෙන් පුරවැසියන් හා විවිධ පරදු දරන්නන් විසින් අදාළ ප්‍රතිපත්ති ක්ෂේත්‍රය පිළිබඳ ව ඉදිරිපත් කරන කරුණු කාරණා සාරාංශ කොට ඒ පිළිබඳ යෝජනා කරනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය පොදු අධිකාරියට සිය වෙබ් අඩවිය මගින් දැනුම් දිය හැකිය. ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ මෙවැනි සාකච්ඡා සඳහා මහජන දායකත්වය ලබා ගැනීමේ දී අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධ සමාජ මාධ්‍ය, බ්ලොග් සටහන්, ඊමේල්, විවෘත දත්ත සහ කැමති අකැමැති බව පිළිබඳ වෙබ් සමීක්ෂණ ඇතුළු සුදුසු අන්තර් ක්‍රියාකාරි සංනිවේදන විධි වෙබ් අඩවිය හරහා උපයෝගී කර ගත හැකිය. එමෙන් ම එවැනි මහජන උපදේශන පැවැත් වීමේ දී අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට අන්තර්ජාලය හරහා විද්‍යුත් පෙත්සම් ඉදිරිපත් කිරීමට පුරවැසි කණ්ඩායම් වලට ඉඩ සලසා දීම ද වැදගත් ය. ඒ හැර පවතින හෝ පැවතිය යුතු ප්‍රතිපත්තියක් සම්බන්ධව තමන්ගේ අභිමතය හා යෝජනා ආයතනය හා සම්බන්ධ වගකීම දරණ මහජන නියෝජිතයන් ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීම පිණිස ආයතනික වෙබ් අඩවියෙන් සුදුසු අවකාශයක් ලබා ගැනීමට පුරවැසි කණ්ඩායම් වලට ද අවශ්‍ය විය හැකිය .
ප්‍රගාමී තොරතුරු අනාවරණය දියුණු කිරීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ඉන්දියානු රජය විසින් පත් කළ කොමිටියේ වාර්තාව මගින් යෝජනා කරන පරිදි රටේ ඕනෑම නීතියක් කෙටුම්පත් කිරීමේ දී, සංශෝධනය කිරීමේ දී සහ මහජනතාවට සෘජු ලෙස බලපාන සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සුබසාධනය, ස්වාභාවික සම්පත් සම්බන්ධ ප්‍රතිපත්ති හැඩ ගැස්වීමේ ලා ප්‍රසිද්ධ මහජන උපදේශන පැවැත්විය යුතු වේ.
සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා පද්ධති, මහා මාර්ග පද්ධතිය, විදුලි බල පද්ධතිය, ජල සම්පාදනය හා නො අඩු වැදගත් කමකින් යුත් යටිතල පහසුකම් ව්‍යුහයක් ලෙස රජය විසින් ගබඩා කර ඇති සමස්ත තොරතුරු සංචිතය අපේ අද්‍යතන ජන ජීවිතයට අත්‍යවශ්‍ය වෙමින් පවතී. මනාව දැනුවත් වූ තීරණ ගැනීමට තම රටවැසියන්ට ඇති හැකියාව වර්ධනය කිරීමට කැමති හැම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ම වගකීම වන්නේ ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම මගින් සිය තොරතුරු සුපිරි මාර්ගය මහජන උපයෝගීතාව පිණිස වැඩිදියුණු කිරීමයි.
තොරතුරු යළි භාවිතයට (information reuse) සැකසීම නවෝත්පාදනයක් ලෙස
පොදු අධිකාරි සතු ව පවත්වා ගෙන යන තොරතුරු සංචිත වලට ප්‍රවේශ වීමේ පුරවැසි අභිප්‍රාය මූලික ව මෙහෙය වෙන්නේ පොදු අධිකාරි වල තිබිය යුතු පාරදෘෂ්‍යභාවය සහ වගවීම වැනි සමාජීය අරමුණු සාක්ෂාත් කිරීම පදනම් කොට ගෙනයි. එහෙත් ආර්ථික වශයෙන් පල දායක පැතිකඩක් ද ප්‍රගාමී තොරතුරු අනාවරණයේ තිබේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රගාමී තොරතුරු අනාවරණය නිසා පොදු අධිකාරි භාරයේ ඇති කර්තෘ භාගයෙන් මුක්ත වූ තොරතුරු උකහා ගෙන යළි සකසා වඩා ආකර්ෂණීය දැනුම වඩන නවෝත්පාදන වශයෙන් එළි දැක්වීමට නිර්මාණශීලී ව්‍යවසායකයන්ට අවස්ථාව සැලසේ.
ඒ සඳහා යොදා ගත හැකි තොරතුරු අතරට පොදු අදිකාරි විසින් තම රාජකාරි හා මහජන සේවා කටයුතු පිණිස එකතු කර ගනු ලබන දත්ත හා තොරතුරු මෙන් ම සංඛ්‍යා ලේඛන ආයතන, සංස්කෘතික ආයතන, ලේඛන සංරක්ෂණ ආයතන වැනි පොදු ආයතන විසින් එකතු කර පවත්වා ගෙන යන විවිධ තොරතුරු සංචිත ද අයත් වේ. ජන සංඛ්‍යා, ආර්ථික සහ කාලගුණික දත්ත වල සිට සිතුවම්, ඓතිහාසික ලියැවිලි ඈ දක්වා බහුවිධ පරාසයකට අයත් වන මේ තොරතුරු ආකර්ෂණීය අධ්‍යාපනික හා සංස්කෘතික භාණ්ඩ වශයෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට ව්‍යවසායකයන්ට හැකිය. මේ අනුව වඩා පුළුල් ජනතාවක් වෙත අධ්‍යාපනික හා සංස්කෘතික දැනුම ගෙන ආ හැකි ප්‍රභවයක් ලෙස ප්‍රගාමී තොරතුරු අනාවරණය සැලකිය හැකිය. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කළ 19 වැනි රෙගුලාසියට අනුව පනතට අනුකූලව පොදු අධිකාරියක් විසින් අනාවරණය කරන ලද ඕනෑම තොරතුරක් කර්තෘ භාගයෙන් හා පරම අයිතියකින් මුක්ත ව නිරන්තරයෙන් යළි භාවිතා කිරීමට ඉඩ දිය හැකිය.
ප්‍රගාමී ප්‍රකාශන විධික්‍රම
මුද්‍රිත ප්‍රකාශන, ගැසට් ප්‍රකාශ, ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදන වල සිට අන්තර්ජාලය උපයෝගී කර ගත් වෙබ් අඩවි දක්වා විවිධාකාර මාර්ග ඔස්සේ පොදු අධිකාරියකට සිය ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය සිදු කළ හැක.
මින් පෙර නොවූ විරූ ආකාරයට තොරතුරු බෙදා හැරීම ඉහළ නැංවීමට අන්තර්ජාලයට අද හැකි වී තිබේ. පසුගිය වසර අවසන් වන විට අප රට වැසියන්ගෙන් 30% කට රැහැන් ගත මාර්ග හා ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසිය හැකි විය. හැරත් ශ්‍රී ලංකාවේ හැම රටවැසියන් සියයකට ම ජංගම දුරකථන 131ක් දක්වා ජංගම දුරකථන සේවා උපයෝජ්‍යතා දර්ශකය ඉහළ ගොස් තිබේ . දුරකථන සේවාදායකයන් විසින් කල් තබා අය කිරීමේ ක්‍රමයට සපයන සෑම ජංගම දුරකථන සිම් පත්‍රයක් ම නිකුත් කරන්නේ අන්තර්ජාලයෙන් දත්ත බාගැනීම සඳහා ද ඒවා යොදා ගත හැකි අන්දමිනි. වඩා හොඳ අන්තර්ජාල සේවයක් ජංගම දුරකථන ඔස්සේ ලබා දී විශාල ග්‍රාහකයන් සංඛ්‍යාවක් ග්‍රහණය කිරීමේ අරමුණින් ජංගම දුරකථන සේවා සපයන්නෝ සිය 4G ආවරණ කලාප ආක්‍රමණශීලී ලෙස පුළුල් කරමින් සිටිති. ඒ අනුව දත්ත පරිහරණය කළ හැකි ජංගම දුරකතනයක් හිමි හැම පුරවැසියෙකුට ම නිශ්චිත දත්ත සැලසුමකට දායක නොවී වූ වද අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වී තිබේ.
අන්තර්ජාල වෙබ් අඩවි පවත්වා ගෙන යන බොහෝ පොදු අධිකාරි ඒවා සිය අභිමතය පරිදි තෝරා බේරා ගත් ආයතනික තොරතුරු පමණක් ප්‍රචාරණය කිරීම සඳහා යොදා ගන්නා බව පෙනේ. එනිසා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කර ඇති 20 වැනි රෙගුලාසියට අනුව ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සඳහා එම වෙබ් අඩවි භාවිතා කිරීමේ සැලකිය යුතු විචල්‍යතාවක් ඇති බව දක්නට ලැබේ. පොදු අධිකාරි 55ක ප්‍රගාමී තොරතුරු අනාවරණය තක්සේරු කිරීම පිණිස 2017 දෙසැම්බරයේ දී වෙරිටේ සමීක්ෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක් විසින් පෙන්වා දෙනු ලබන පරිදි අනාවරණය කළ යුතු යැයි නියම කර ඇති තොරතුරු ප්‍රවර්ග අතර මෙන් ම ආයතන අතරත් කළ සංසන්දනයක දී ප්‍රගාමී තොරතුරු අනාවරණය සඵලදායක කර ගැනීමට විවිධාකාර සීමා ඇති බව පෙනේ.
ආයතනයක වෙබ් අඩවියක් යනු එම ආයතනයේ පොදු මුහුණුවර ලෙස හැඳින්විය හැකිය. වෘත්තීය ස්වරූපය පිළිබිඹු කරන, ප‍්‍රයෝජනවත්, නිරන්තරයෙන් යාවත්කාලීන වෙන, අනාවරණීයශීලි වෙබ් අඩවියකින් නිරූපණය වන්නේ සිය කටයුතු ගැන මහජනතාව දැනුවත් කිරීමට එම වෙබ් අඩවිය හිමි ආයතනය දක්වන අභිලාෂයයි. වෙබ් අඩවිය භාවිතා කරන පුරවැසියන්ට එහි අඩංගු කර ඇති බොහෝ තොරතුරු තමන්ට අභිමත භාෂාවෙන් ලබාගැනීමට හැකි විය යුතු ය. එවැනි වෙබ් අඩවි වලට යළි යළිත් පිවිසීමට පුරවැසියන් පොලඹවන හේතු අතර අඩවියේ සෞන්දර්යාත්මක ආකර්ෂණය, ආයතනයේ මෙහෙවර පැහැදිලිව වෙබ් අඩවියෙන් සාධාරණීකරණය කර තිබීම සහ නිරන්තරයෙන් යාවත්කාලීන වන අන්තර්ගතය ද වැදගත් වෙයි. ශ්‍රව්‍ය, දෘෂ්‍ය බහුමාධ්‍ය, චලන චිත්‍ර, ග්‍රාපික චිත්‍රණ ආදිය යොදා ගැනීම මගින් වෙබ් අඩවියේ අන්තර්ගතය මැනවින් තේරුම් යන ලෙස සරල ව ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් චැට් සම්භාෂණ, අන්තර්ජාල සංසද හා සම්මන්ත්‍රණ වැනි අන්තර්ක්‍රියාකාරී කටයුතු සංවිධානය කිරීමට හා ඒවාට සහභාගි වීමට ඇති හැකියාව ද අඩවියේ පළ වෙන නව තොරතුරු සම්බන්ධයෙන් ඊමේල් හරහා ග්‍රාහකයන්ට නිරන්තරයෙන් දැනුම් දීමට හැකි වීම ද වැදගත් ය.
පොදු අධිකාරීන් විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවි විල අන්තර්ගතයේ ඇතැම් සංකීර්ණ කොටස් සාරාංශ, සම්පිණ්ඩන හා නිරන්තරයෙන් අසන ප්‍රශ්න ආදී වශයෙන් හඳුන්වා දීම මගින් වඩා සරල ව මහජනතාවට ඉදිරිපත් කළ හැකිය. වෙබ් අඩවිය පරිහරණය කරන්නන්ට එම අඩවියේ ඇති විවිධ අන්තර්ගත කොටස් වල සංයුක්ත බව හා ප්‍රයෝජනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ට හැකි වන අන්දමට එ් ඒ අන්තර්ගත කොටස් වලට අදාල ව අන්තර්ගත ඇගයුම් ක්‍රමයක් ද හඳුන්වා දිය හැකිය. එමෙන්ම ආයතනය මගින් පවත්වන විවිධාකාර විවෘත රැස්වීම් සම්මන්ත්‍රණ ආදියට ආයතනික වෙබි අඩවිය ඔස්සේ සජීවි ලෙස සවන් දීමට හා ප්‍රතිචාර දැක්වීමට පුරවැසියන්ට හැකි වීම ද ආයතනික විවෘතභාවය හා ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් පුළුල් අවධානයක් ලබා ගැනීමට සඳහා ද වැදගත් වේ. වෙබ් අඩවිය සිය තොරතුරු යාවත්කාලීන කරන හැම විටක ම ඒ පිළිබඳ කෙරෙන දැනුම් දීමක් ඊමේල් මගින් ජනමාධ්‍ය කරුවන් වෙත ඉබේ යොමු කරන ක්‍රමයක් අනුගමනය කළ හැකිය. මන්ද අලුත් ම තොරතුරු දැන ගැනීම පිණිස ජනමාධ්‍යකරුවන් ආයතනික වෙබ් අඩවි උපයෝගී කර ගැනීම නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බැවිනි.
පොදු මූලෝපායක් කරා
මහජනතාවගේ මූලික අයිතියක් ඉටු කර දීමට ඉඩ සැලසීම යනු ඒ සම්බන්ධ වගකීම දරන්නන් විසින් එම අයිතිය මහජනතාවට සතුටුදායක ලෙස භුක්ති විඳීම පිණිස අවශ්‍ය කෙරෙන ප්‍රතිපත්ති, විධිවිධාන ආදිය ස්ථාපිත කොට ඒවා ක්‍රියාත්මක කිරීමට අවැසි සම්පත් ලබා දීමයි. ඒ අර්ථයෙන් ගත් විට රාජ්‍ය අංශයේ සියලු පොදු අධිකාරිවල ප්‍රගාමී තොරතුරු අනාවරණය වැඩිදියුණු කළ හැකි සමස්ත මූලෝපායක් රජයට තිබිය යුතු ය. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම මගින් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන විවෘතභාවය, පාරදෘෂ්‍යභාවය සහ වගවීම වැනි මූලික ප්‍රතිඵල රාජ්‍ය අංශයේ ප්‍රගාමී තොරතුරු අනාවරණය සාර්ථක කිරීම පිණිස එවැනි වැටහෙන සුලු රාජ්‍ය මූලෝපායක් පිළිබඳ අවශ්‍යතාව අතිශයින් සාධාරණීකරණය කරයි. ප්‍රගාමී තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පොදු අධිකාරි විසින් එදිනෙදා ඉටු කරනු ලැබිය යුතු වගකීම් මොනාවාදැ’යි තොරතුරු පනතේ 8 වැනි හා 9 වැනි වගන්ති වල සඳහන් වන අතර එම පනත යටතේ ම ‘ප්‍රගාමී තොරතුරු අනාවරණය’ යන මැයෙන් ගැසට් කරන ලද අංක 20 දරණ රෙගුලාසියේ ද සවිස්තර කර දී තිබේ. එකී රෙගුලාසියට අනුව පොදු අධිකාරීන් අවම වශයෙන් ප්‍රවර්ග 16 කට අයත් තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය.
එහෙත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් සෘජු ව මෙහෙයවන පොදු එළඹුමකට අනුගත වීමකින් හා නිශ්චිත මග පෙන්වීමකින් තොරව, අසමමිතික ලෙස අන්තර්ජාලය යොදා ගැනෙන, අභිමත පරිදි ප්‍රගාමී අනාවරණය සම්බන්ධයෙන් විවිධාකාර එළඹුම් අනුගමනය කරන පොදු අධිකාරී සම්භාරයක් මගින් කරනු ඇතැ’යි බලාපොරොත්තු වන ප්‍රගාමී තොරතුරු අනාවරණයක සාර්ථකත්වයක් මැන බලන්නේ කෙසේ ද?
ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ මෙහෙයවීම අනුව මූලික එළඹුම වශයෙන් අංක 20 දරණ රෙගුලාසියට අනුව ප්‍රවර්ග කර ඇති තොරතුරු තාර්කික ලෙස අනුපිළිවෙළකට යොමු කරන පොදු ප්‍රකාශන පටිපාටියක් (Publication Scheme) උපයෝගී කර ගැනීමෙන් සියලු පොදු අධිකාරීන් එවැනි මූලෝපායක් ඔස්සේ පෙළගස්වා ගැනීම ආරම්භ කළ හැකිය. තොරතුරු ලබාගැනීමේ පනත් මැනවින් ක්‍රියාත්මක වෙතැ ’යි සැලකෙන රටවල් ගණනාවක් ප්‍රගාමී ලෙස ප්‍රකාශ කෙරෙන තොරතුරු සංවිධානය කර ගැනීමට හා විස්තර කර දීමට මේ අන්දමේ ප්‍රකාශන පටිපාටි හඳුන්වා දී තිබේ.
ප්‍රකාශන පටිපාටියක් (Publication Scheme) යනු කුමක් ද?
සරල ව විස්තර කළොත් ප්‍රකාශන පටිපාටියක් යනු පොදු අධිකාරියක් විසින් මහජන සංනිරීක්ෂණය සඳහා ප්‍රසිද්ධ කරනු ලබන සියලු තොරතුරු වර්ග විධිමත් ව ලැයිස්තු ගත කර ඇති ලේඛනයකි. එවැනි ප්‍රකාශන පටිපාටියක පහත දැක්වෙන මූලික දේවල් අඩංගු විය යුතු ය.
• තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හා ඒ යටතේ පනවා ඇති රෙගුලාසි වලට අනුකූල ව ඉටු කළ හැකි උපරිම තොරතුරු අනාවරණය සාක්ෂාත් කර ගැනීම පිණිස පොදු අධිකාරිය විසින් ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කරන තොරතුරු ප්‍රවර්ග පිළිබඳ පැහැදිලි ලැයිස්තුවක්.
• එම තොරතුරු ලබාගත හැක්කේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද නො එසේ නම් ආයතනයේ ඇති ලිඛිත හෝ මුද්‍රිත ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන ආකෘති පරිහරණය කිරීමෙන් ද යන්න පිළිබඳ දැනුම් දීමක්.
• මහජන සංනිරීක්ෂණය සඳහා දෘඪ පිටපත්(hard copy) වශයෙන් පමණක් සැපයිය හැකි ලේඛන වල ලැයිස්තුවක්. මේ ලේඛන ලැයිස්තුව ද ආයතනික වෙබ් අඩවියේ පළ කළ යුතු ය.
• මුද්‍රිත ප්‍රකාශන වලට මිලක් අය කරන්නේ නම් ඒවායේ මිල ගණන් ද ඇතුළු ප්‍රකාශයට පත් කෙරෙන තොරතුරු සම්බන්ධ වෙනත් අදාල කොන්දේසි.
• ප්‍රගාමී ප්‍රකාශන අතර කතෘ භාගය තෙවැනි පාර්ශවයකට හිමි තොරතුරු වෙත් නම් බුද්ධිමය දේපළ හිමිකම් වලට අනුව එම තොරතුරු නැවත භාවිතයේ දී සැලකිය යුතු සීමා පිළිබඳ දැනුම් දීමක්.
• වෙනත් ආකාරයේ පරිහරණ ආකෘති (උදා: DVD, CD) වලින් ලබාගත හැකි ප්‍රකාශිත තොරතුරු පිළිබඳ විස්තරයක්.
• ප්‍රකාශන පටිපාටියේ දන්වා ඇති තොරතුරු වැරදි සහගත නම් හෝ, ප්‍රගාමී ලෙස අනාවරණය කර නැති නම් හෝ යාවත්කාලීන කර නැතිනම් හෝ ඒ සම්බන්ධ පැමිණිලි කළ යුතු ආකාරය (ප්‍රගාමී ලෙස අනාවරණය කළ යුතු තොරතුරු අවිධිමත්, වැරදි සහගත හෝ යාවත්කාලීන කර නොමැති ඒවා නම් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ප්‍රකාශිත 20වැනි රෙගුලාසියට අනුව ඒ පිළිබඳ මුල් පැමිණිල්ල අදාල ආයතනයේ ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු ය. ඒ අනුව කටයුතු කිරීමට ආයතන ප්‍රධානියා අපොහොසත් වූ විට ඒ සම්බන්ධ අභියාචනයක් තොරතුරු කොමිසමට ඉදිරිපත් කළ හැකිය.)
ප්‍රගාමී ලෙස අනාවරණය කරනු ලබන ඇතැම් ලිපි ලේඛන ලබා ගත හැක්කේ දෘඪ පිටපත් වශයෙන් පමණක් නම් ඒ බව ද ඇතුලත් ව අනාවරණය කරණ හැම ලේඛනයක් ම පිළිබඳ කෙටි හැඳින්වීමක් ප්‍රකාශන පටිපාටියේ සඳහන් විය යුතු වේ. අනාවරණය කිරීමට නොහැකි වීම සාධාරණීය කළ හැකි තොරතුරු හැර ආයතනය සතු අන් සියලු ම ‘වැදගත්’ (significant)තොරතුරු ප්‍රකාශන පටිපාටියේ ලැයිස්තු ගත කළ හැකි ය. තොරතුරු වල යට කී අර්ථාන්විත භාවය තීරණය කිරීම පිණිස යොදා ගත හැකි නිර්ණායක ගණනාවක් ම වෙයි. පහත දැක්වෙන්නේ ඉහත කී ‘වැදගත්’ තොරතුරු නිගමනය කිරීමට යොදා ගත හැකි නිර්ණායක කිහිපයකි.
• අයදුම්කරුවන් විසින් නිරන්තරයෙන් ම ඉල්ලා සිටිනු ලබන හෝ ඉල්ලා සිටීමට ඉඩ ඇති තොරතුරු.
• ප්‍රසිද්ධ කළ යුතුයැ’යි නීතිය මගින් ම නියම කළ ඇති තොරතුරු ( තොරතුරු පනතේ 8 හා 9 වෙනි වගන්ති වල ද එහි 20 රෙගුලාසිය මගින් ද පොදු අධිකාරියක් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු නීතියෙන් නියම කොට තිබේ)
• ආයතනය හෝ රජය විසින් මුහුණ දී ඇති එහෙත් සුදුසු විසඳුම් සඳහා පුරවැසි දායකත්වය සැපයිය හැකියැ’යි සැලකෙන තත්කාලීන අභියෝග පිළිබඳ තොරතුරු.
• බල ශක්ති සැපයුම් අවශ්‍යතා, ආහාර සුරක්ෂිත භාවය, ව්‍යසන කළමනාකරණය සහ ගෝලීය උණුසුම සහ දේශගුණය වෙනස් වීමේ බලපෑම වැනි අනාගත අභියෝග පිළිබඳ තොරතුරු.
• ව්‍යවසායකත්ව වර්ධනය, වෙළඳ පොළ කාර්යක්ෂම කිරීම ඇතුළු වාණිජ කටයුතු සම්බන්ධ වැදගත් වන තොරතුරු.
• ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා, පිළිතුරු සහ ආයතනික කටයුතු වලට අදාල ව නිකුත් කර ඇති අධිකරණ නියෝග.
• විවිධ තොරතුරු සුචි හා ලැයිස්තු ද ඇතුළුව ආයතනය භාරයේ පවතින තොරතුරු මොනාවාදැ’යි පුරවැසියන්ට හඳුනා ගත හැකි අන්දමේ රෙජිස්තර හා ලේඛන පිළිබඳ විස්තර.
• ආයතනය ගත් ඇතැම් තීරණ වලට හේතු, පාලන විධිවිධාන, ආයතනයේ කාර්ය ඵල ඉලක්ක ආදිය සාක්ෂාත් කිරීම පිළිබඳ තත්ත්වය වැනි ආයතනයේ මහජන වගවීම විදහා පෙන්වන තොරතුරු.
• ආයතනයේ කාර්ය ඵලය, ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳ ව සමීක්ෂකයන්ට හා ජනමාධ්‍යවේදීන්ට ප‍්‍රයෝජනවත් වෙන සංඛ්‍යා ලේඛන තොරතුරු හා අනෙකුත් දත්ත.
• ආයතනය විසින් අරඹන ලද වැඩපිළිවෙළවල් පිළිබඳ පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් මහජන නියෝජිත සභාවල අවධානයට ලක් වන හෝ ආයතනික සැලසුම් වල හා ප්‍රවෘත්ති නිවේදන වල හෝ අඩංගු වන කරුණු හා සම්බන්ධ තොරතුරු.
• ආයතනයේ මූලෝපායික සහ ක්‍රියාකාරී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හා සම්බන්ධ සැලසුම්.
• පොදු යහපත ප්‍රවර්ධනය කිරීමේ ලා වැදගත් වන ආයතනයට අදාල සියලු තොරතුරු.
කලෙක ‘වැදගත්’ යැයි නිර්ණය කෙරෙන ඇතැම් තොරතුරු තවත් කලෙක සමකාලීන අවශ්‍යතා හා රජයේ ප්‍රමුඛතා අනුව වෙනස් විය හැකියි. කෙසේ වෙතත් මෙහිදී මූලික වගකීමක් වන්නේ දැනටමත් අදාල කරුණ පිළිබඳ ප්‍රකාශ කර ඇති තොරතුරු හා සසඳන විට ආයතනය සිය ප්‍රකාශන පටිපාටියට අඩංගුවන සියලු තොරතුරු නිරවද්‍ය ඒවා බවට තහවුරු කර ගැනීමයි.
පුරවැසියෙකු විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කරනු ලබන ඉල්ලුමකට ප්‍රතිචාරයක් ලෙස සපයන ලද එහෙත් අන් අයට ද වැදගත් විය හැකි තොරතුරු ද ප්‍රකාශන පටිපාටියට අඩංගු විය යුතු ය.
ආයතනයේ වාර්ෂික වාර්තා, මූලෝපායික සැලසුම්, මූල්‍ය ප්‍රතිපාදන සහ පවත්වා ගෙන යාම ආයතනයේ වගකීමක් ලෙස කිසියම් නීතියක් මගින් පවරා ඇති රෙජිස්තර හා වාර්තා ආදිය සුවිශේෂයෙන් ම ප්‍රකාශන පටිපාටියට ඇතුළු විය යුතු ය. උදාහරණයක් වශයෙන් ගත්තොත් තොරතුරු පනතේ 8 වැනි වගන්තියට අනුව සෑම පොදු අධිකාරියක් විසින් ම පිළියෙළ කරනු ලැබිය යුතු අර්ධ වාර්ෂික වාර්තා සහ ඇමතිවරුන් විසින් තම අමාත්‍යාංශ හා ආයතන යටතේ දියත් කිරීමට සැලසුම් කරන නව ව්‍යාපෘති පිළිබඳ ව පනතේ 9 වැනි වගන්තියට අනුව ප්‍රසිද්ධ කළ යුතු තොරතුරු වාර්තා යට කී වර්ගයට ගැනේ.
සියලු පොදු අධිකාරි තම ප්‍රකාශන පටිපාටිය මහජන පිරික්සුම පිණිස ආයතනික වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබිය යුතු වේ. ඇතැම් අවස්ථාවල දී කල් නො ඉක්මවා ප්‍රකාශන පටිපාටිය නිසි පරිදි සංශෝධනය කිරීම සහ අදාළ තොරතුරු යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ. එවැනි අවස්ථා පිළිබඳ උදාහරණ පහත දැක්වේ.
• ආයතනයට අදාල නව පනතක් සම්මත කල විට හෝ පවතින පනත සංශෝධනය කළ විට.
• නව හෝ සංශෝධිත ප්‍රතිපත්ති හඳුන්වා දුන් විට.
• නව ප්‍රකාශන ප්‍රසිද්ධ කළ විට.
• නව වැඩසටහන් සහ ව්‍යාපෘති දියත් කළ විට
• පොදු අධිකාරිය ප්‍රතිව්‍යුහගත කළ විට.
• යාවත්කාලීන කිරීම නිසා තොරතුරු අර්ථවත් ලෙස වෙනස් වූ විට.
සකසා අවසන් කළ ප්‍රකාශන පටිපාටිය මහජනතාවගේ දැන ගැනීම පිණිස වෙබ් අඩවියේ පළ නළ යුතු අතර අවශ්‍ය අයට එහි දෘඪ පිටපත් ලබා ගැනීමට ද හැකි විය යුතු ය.
අවම වශයෙන් ගත්තොත් තොරතුරු පනතේ 20 වැනි රෙගුලාසියේ සඳහන් නොයෙක් තොරතුරු ප්‍රවර්ග වලට අනුව ඕනෑම පොදු අධිකාරියකට සිය ප්‍රකාශන පටිපාටිය සකස් කර ගත හැකිය. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රකාශන පටිපාටියක අච්චුවක් නොහොත් ටෙම්ප්ලේටයකි (template). මේ ටෙම්ප්ලේටය පිළියෙළ කිරීමේ දී ප්‍රගාමී අනාවරණය සඳහා ඉහත කී රෙගුලාසියෙන් නියම කර ඇති සියලු තොරතුරු ප්‍රවර්ග ආයතනයේ මහජන සේවා හිතකාමී බව ඉස්මතු කෙරෙන අන්දමින් පෙළගස්වා තිබේ.
ප්‍රකාශන පටිපාටිය (Publication Scheme) සඳහා මොඩලයක්
…………………….(පොදු අධිකාරියේ නම) ප්‍රකාශන පටිපාටිය
පොදු අධිකාරි විසින් පවත්වා ගෙන යන තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමට 2016 අංක 12 දරණ තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතේ නියම කර ඇති පරිදි පුරවැසියන් සතු ව්‍යවස්ථාපිත අයිතිය තහවුරු කිරීම සම්බන්ධයෙන් අපේ වගකීම ඉටු කිරීම පිණිස පුරවැසියන්ට අප ආයතනයේ ඇති තොරතුරු ලබා ගැනීමේ හැකියාව පුළුල් කිරීමට අපි කැප වී සිටිමු.
අපේ මේ ප්‍රකාශන පටිපාටිය අප ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ සහ වෙනත් සුදුසු ආකෘති අනුව ප්‍රගාමී ලෙස නිරතුරුව ප්‍රසිද්ධ කරන තොරතුරු වර්ග විස්තර කරයි. එම තොරතුරු වර්ග ඉහත කී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කරන ලද අංක 20 දරණ රෙගුලාසියේ එන වර්ගීකරණයට අනුකූලව පහත දැක්වෙන පරිදි ප්‍රවර්ග කර දක්වා තිබේ.
1. අප ගැන ( අපි කවුද සහ අපි ඉන්නේ කුමකට ද?)
• අපේ ආයතනය පිළිබඳ තොරතුරු, අපේ මෙහෙවර (mission) හා දැක්ම(vision)
• අපේ කර්තව්‍යය(functions) සහ ඒ සඳහා අප සතු බල තල
• අපේ ආයතනික පිහිටීම (ගූගල් සිතියමේ ද දක්වා ඇත), ලිපිනය, විවෘතව තබන වේලාව, අප සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වන තොරතුරු, අපේ ශාඛා පිළිබඳ විස්තර
2. අපේ සංවිධානය (අප සංවිධානය වී අත්තේ කිනම් ආකාරයට ද?)
• අපේ සංවිධාන ව්‍යුහය, එක් එක් අංශයේ/දෙපාර්තමේන්තුවේ ඇති සේවක සංඛ්‍යාව ස්ත්‍රී පුරුෂ වශයෙන්
• අපේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නම්, තනතුරු, වගකීම් සහ ඔවුන් සම්බන්ධ කර ගන්නා ආකාරය
• විධායක ශ්‍රේණියේ නිලධාරීන් ලබාගන්නා වැටුප්, වේතන හා දීමනා
3. අපේ ක්‍රියාකාරිත්වය සහ තීරණ ගැනීමේ ක්‍රමවේදය( අප කටයුතු කරන හා තීරණ ගන්නා ආකාරය)
• අපේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ඔවුන් සතු බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ රාජකාරි ඉටු කිරීමේ දී භාවිතා කරන නීති, රෙගුලාසි, චක්‍රලේඛ, උපදෙස් හා කාර්ය සංග්‍රහ
• අපේ මූලෝපායික සැලැස්ම
• මහජනතාවට සෘජු ව බලපාන අපගේ විධිමත් තීරණ සහ කටයුතු.
• එ් එක් එක් තීරණයකට එළඹීම සඳහා අප පාදක කරගත් ලේඛන හා දත්ත.
• අප තීරණ ගන්නා ක්‍රමවේදය, අපේ විනිශ්චය සඳහා යොදා ගන්නා ආභ්‍යන්තරික උපමාන සහ අප උපයෝගී කර ගන්නා ක්‍රියා පටිපාටි.
• අප විසින් නිම කරනු ලැබ ඇති හා තවමත් ක්‍රියාත්මක ව පවතින ව්‍යාපෘති
• අප උපදේශන ලබාගන්නේ කවරකුගෙන් ද සහ අපේ උපදේශන යන්ත්‍රණය කුමක් ද යන වග
4. අපේ මහජන සේවා. (අප ඔබට සපයන්නේ කිනම් ආකාර සේවා ද?)
• අප විසින් මහජනතාවට සපයන සේවා පිළිබඳ විස්තර සහ ඊට අදාළ උපදෙස්, මග පෙන්වීම්, කාර්ය සංග්‍රහ, ඉල්ලුම් පත්, ගාස්තු ලේඛක, කාලසීමා, මාධ්‍ය නිවේදන, තොරතුරු පත්‍රිකා හා ප්‍රකාශන
• අපේ මහජන සේවා ලබාගත හැක්කේ කෙසේ ද යන වග
5. අපේ ප්‍රතිපත්ති හා නීතිමය විධිවිධාන (අප අනුගමනය කරන ප්‍රතිපත්ති හා නීතිමය විධි විධාන)
• අපේ කාර්ය භාරය සහ වගකීම් ඉටු කිරීමේ ලා වර්තමානයේ අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ප්‍රොටොකෝල
• සැලසුම්, ඇගයුම්, විමර්ශන ඇතුළු අපේ මූලෝපායික කාර්ය ඵල අවශ්‍යතා සම්බන්ධයෙන් වැදගත් වන තොරතුරු
• අපේ ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති සම්පාදනයේ පදනම වශයෙන් යොදා ගන්නා දත්ත, ලේඛන සහ තොරතුරු
• අප විසින් පිළිපැදිය යුතු පාර්ලිමේන්තු පනත්
• අප විසින් පිළිපැදිය යුතු චක්‍රලේඛ සහ රෙගුලාසි
• අප විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා
• අපට අයත් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු
6. අපේ මහජන උපදේශනය (මහජනයා ට අප හා අදහස් යෝජනා ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?)
• මහජනතාවට විවෘත වන රැස්වීම් සහ ඒවාට සහභාගි විය හැකි අන්දම
• අන්තර්ජාලය ඔස්සේ සවන් දිය හැකි අපේ වැදගත් රැස්වීම්
• අප පවත්වන අන්තර්ජාල සංසද (online discussion forums)
• සමාජ මාධ්‍යය ජාලවල අපේ කටයුතු
• අපේ පැමිණිලි යන්ත්‍රණය
7. අපේ ප්‍රසම්පාදන සහ සහනාධාර ( අප සැපයුම් මිල දී ගන්නේ කෙසේ ද? අප සහනාධාර සපයන්නේ කෙසේ ද)
• අප විසින් දෙන සහනාධාර පිළිබඳ හා සහනාධාර දීම කළමනාකරණය,
• සහනාධාර වල අරමුණු, ප්‍රමාණ සහ ක්‍රියාත්මක කිරීමේ ඉලක්ක පිළිබඳ තොරතුරු
• අපේ සහනාධාර ලබන්නන් පිළිබඳ තොරතුරු
• අපේ නිලධාරීන් විසින් භාණ්ඩ සහ සේවා මිළදී ගන්නා විට අනුගමනය කරන ක්‍රමවේදය
• අපේ ප්‍රසම්පාදන හා ටෙන්ඩර පටි පාටිය පිළිබඳ විස්තර
• අප පිරිනැමූ කොන්ත්‍රාත්තු වල පිටපත්
• සම්පූර්ණ කළ කොන්ත්‍රාත්තු පිළිබඳ වාර්තා
• දැනට ක්‍රියාත්මක වන කොන්ත්‍රාත්තු පිළිබඳ පහත දැක්වෙන තොරතුරු:
කොන්ත්‍රාත්තු වට අනුව ඉටු කළ යුතු කටයුතු හා සැපයිය යුතු භාණ්ඩ සහ සේවා පිළිබඳ විස්තර
කොන්ත්‍රාත්තුව සඳහා ලැබුණු ලංසු සංඛ්‍යාව
කොන්ත්‍රාත්තුව දිනා ගත් ලංසු කරු ගේ නම
කොන්ත්‍රාත්තුව පිරිනමනු ලැබුවේ කිනම් මිල ගණන් වලට ද යන බව
කොන්ත්‍රාත්තුව පිරිනමනු ලැබුවේ විදේශික ලංසු කරුවෙකුට නම් එම ලංසු කරුගේ දේශීය නියෝජිතයා පිළිබඳ විස්තර
8. අපේ අයවැය වියදම් සහ මූල්‍ය කටයුතු( අප වියදම් කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද?)
• මේ වසර සඳහා එක් එක් වැය ශීර්ෂ යටතේ අපේ ප්‍රක්ෂිප්තිත අයවැය (projected budget)
• එක් එක් වැය ශීර්ෂ යටතේ පසුගිය වසරේ අපේ වැය
• විගණකාධිපති/නියමිත විගණන ආයතනය විසින් අප ආයතන සම්බන්ධයෙන් එක් එක් වසරට අනුව පිළියෙල කළ විගණන වාර්තා
9. අප භාරයේ ඇති තොරතුරු (අප භාරයේ ඇති තොරතුරු හා ඒවාට ප්‍රවේශ වෙන ආකාරය)
• නීතිය මගින් නියම කර අති පරිදි අප භාරයේ පවත්වා ගෙන යන තොරතුරු
• අපේ තොරතුරු සුචිය. අප භාරයේ ඇති ලේඛන, වාර්තා, ලැයිස්තු, රෙජිස්තර පිළිබඳ සුචි සහ අප විසින් පවත්වා ගෙන යන හෝ නිපදවන දත්ත පිළිබඳ සුචි අදාළ වූ විට ඒ පිළිබඳ ඇති හයිපර්ලින්ක් සමග
• අපේ නිෂ්පාදන වල සාම්පල හා ඒ සාම්පල ලබා ගන්නා ආකාරය
• අපේ මුද්‍රිත ප්‍රකාශන වල නම්, පළ කරන ලද වර්ෂය, මිල හෝ නොමිලේ ලබා ලන්නා ආකාරය. වෙබ් අඩවිය ඔස්සේ බා ගත හැකි ප්‍රකාශන පිළිබඳ තොරතුරු
• අපේ තොරතුරු නිලධාරියා හා ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර සහ ආදර්ශ තොරතුරු ඉල්ලුම් පත්‍රය
• තොරතුරු ලබා දීම පිණිස තොරතුරු කොමිසම විසින් නියම කර ඇති ගාස්තු පිළිබඳ විස්තර
• තොරතුරු ඉල්ලීමක් පිළිබඳ සෑහීමකට පත් නො වන්නේ නම් ඒ පිළිබඳ අභියාචනා විමසීම සඳහා නම් කර ඇති නිලධාරියා
• තොරතුරු පනතේ 8 වැනි වගන්තියට අනුව ප්‍රකාශ කරන අපේ අමාත්‍ය තුමාගේ වාර්තා
• තොරතුරු පනතේ 10 වැනි වගන්තිය යටතේ අප විසින් තොරතුරු කොමිසමට ඉදිරිපත් කළ වාර්තා
10. අපේ ප්‍රතික්‍රියක අනාවරණ (තොරතුරු ඉල්ලුම් පත් වලට අනුව අප විසින් සැපයූ තොරතුරු)
• දැනටමත් තොරතුරු ඉල්ලුම් පත් වලට පිළිතුරු වශයෙන් සපයා ඇති එහෙත් අන් අයට ද වැදගත් වෙතැයි සැලකිය හැකි තොරතුරු
• ඉහත කී තොරතුරු වෙබ් අඩවියේ පළ කළ ඇත් නම් ඒවාට ප්‍රවේශ විය හැකි වෙබ් ලින්ක්
11. එක්සත් ජනපද ඩොලර් 100,000ට අධික විදේශීය ආයෝජන හෝ දේශීය ආයෝජන රුපියල් 500,000 කට අධික පිරිවැයකින් යුතු අප විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති (අප යෝජනා කරන ව්‍යාපෘති).
• ව්‍යාපෘති ආරම්භය පිළිබඳ නිවේදනය
• ව්‍යාපෘතිය පිළිබඳ පූර්ව සාධ්‍යතා සහ සාධ්‍යතා වාර්තා
• ආයෝජනයේ කොන්දේසි හා එකඟතා (යෝජිත පිරිවැය, ප්‍රතිඵල සහ ඉපයුම් අනුපාතිකය)
• ව්‍යාපෘති පිරිවැය එක් ඒක් වැය ශීර්ෂ යටතේ වෙන් වෙන් වශයෙන්
• ව්‍යාපෘති කාල සටහන
• අදාළ නම් ව්‍යාපෘතිය නැරඹීමට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අයැදුම් කළ යුතු ආකාරය
තොරතුරු වලට ප්‍රවිෂ්ට වීම සහ යළි භාවිතා කිරීම පිළිබඳ කොන්දේසි.
අන්‍ය ආකාරයක් පිළිබඳ ව සඳහන් කර නොමැති නම් අපේ ප්‍රකාශන පටිපාටියට අනුව සංඛ්‍යාංක (digital) ස්වරූපයෙන් ඇති සියලු තොරතුරු නොමිලයේ ම අපේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ඒවා යළි භාවිතා කිරීමට ද යොදා ගත හැකිය. කතෘ භාගය තෙවැනි පාර්ශවයකට අයත් නොවේ නම් අපේ ප්‍රකාශන පටිපාටියට අඩංගු සියලු තොරතුරු කතෘ භාග (royalty) සහ පරම අයිතියකින් තොරව නිරන්තරයෙන් නැවත භාවිතා කිරීමට අවසර තිබේ. මෙහි දී නැවත භාවිතය යන්නෙන් අදහස් කරන්නේ නීත්‍යනුකූල කටයුත්තක් පිණිස පිටපත් කිරීම, ප්‍රකාශයට පත් කිරීම, පරිවර්තනය කිරීම, අනුවර්තනය කිරීම, බෙදා හැරීම හෝ ඕනෑම මාධ්‍යයක්, ආකාරයක් හෝ ආකෘතියක් භාවිතා කොට ප්‍රකාශයට පත් කිරීමයි.
මෙකී සියලු තොරතුරු බාගත හැකි පරිදි හැකි හැම අවස්ථාවක ම ඍජු ලෙස අපේ වෙබ් අඩවියට සම්බන්ධ කොට ඇත.
ප්‍රකාශන පටිපාටිය පිළිබඳ පැමිණිලි
අපේ ප්‍රකාශන පටිපාටියේ සඳහන් ව ඇති තොරතුරු ලබා ගැනීමට නොහැකි වී නම් හෝ ඒවා යාවත්කාලීන කර නොමැති නම් හෝ අනිසි/අසත්‍ය තොරතුරු අඩංගු වී ඇත්නම් නම් හෝ ඒ පිළිබඳ ව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.
කරුණාකර එවැනි පැමිණිලි ඇත්නම් ඒවා අපේ තොරතුරු නිලධාරියාට ද පිටපතක් සහිතව අප ආයතනයේ ප්‍රධානියා අමතා එවන්න. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අප ආයතනය අපොහොසත් වූ විට ඒ සඳහා මැදිහත් වන ලෙස තොරතුරු කොමිසමෙන් ඉල්ලා සිටීමට ඔබට හැකිය.
පැමිණිල්ල සමග එවන ඔබ සම්බන්ධ කර ගත හැකි තොරතුරු හුදෙක් ම ඔබේ පැමිණිල්ල අනුව කටයුතු කිරීම පිණිස අවශ්‍ය අංශ වලට පමණක් යවනු ලැබේ.
මේ ප්‍රකාශන පටිපාටිය පිළිබඳ ඔබේ අදහස් අපි ඉතා අගය කරන අතර මෙය වැඩිදියුණු කිරීම සඳහා ඒ අදහස් උචිත පරිදි යොදා ගනිමු. ඒ සඳහා ඔබට අභිමත පරිදි අප සම්බන්ධ කර ගත හැකිය.
අවසන් වරට යාවත්කාලීන කළ දිනය……..
ඉහත මොඩලයට සමාන ආකාරයකට පිළියෙළ කළ ප්‍රකාශන පටිපාටියක් ක්‍රියාත්මක කිරීම හා එය කලින් කලට සංශෝධනය කිරීම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක අධීක්ෂණය යටතේ සිදු කළ හැකිය. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්යාලීය ව්‍යුහය, ආධාර හා සම්පත් සැපයීමට එකී මෙහෙයවීම් කමිටුවට හැකි විය යුතු වේ. ආයතනයේ දැනට පවතින ප්‍රගාමී තොරතුරු අණාවරණය ඇගයීමකට ලක් කොට තොරතුරු පනතේ පස්වැනි වගන්තිය යටතේ අවශ්‍ය රහස්‍යභාවය ඉක්මවා යන මහජන යහපතක දී හැර අන් අවස්ථාවල දී අනාවරණය නො කළ යුතුයැ’යි සඳහන් තොරතුරු ද සලකමින් ප්‍රගාමී ලෙස හැකි තාක් තොරතුරු අනාවරණය කිරීම හා අනාවරණීය තොරතුරු වල ආකෘතිය පිළිබඳ උපදෙස් දීමට මෙකී තොරතුරු කමිටුවට හැකිය.
තමා යටතේ ඇති ආයතනය විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශන පටිපාටි පදනම් කර ගෙන අවශ්‍ය දත්ත එකතු කිරීමෙන් එකී ආයතන වල ප්‍රගාමී තොරතුරු අනාවරණය දිරිගැන්වීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට ඒ ඒ අමාත්‍යාංශ වලට ද හැකිය. එවැනි දත්ත මගින් අදාල ආයතන සිය ප්‍රකාශන පටිපාටි සකසා ඇත් ද සහ ඒ අනුව කෙතෙක් සාර්ථක ලෙස ප්‍රගාමී ප්‍රකාශනය සිදු කරන්නේ ද යන්න අමාත්‍යාංශ වලට දැන ගත හැකි වන අතර ඒ සම්බන්ධ දුර්වල කම් නිරීක්ෂණය වූ විට ඒවාට හේතු සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය හැකිය.
තොරතුරු සංඛ්‍යාංකනය(digitalisation) සඳහා ආයෝජනය
තොරතුරු ලබාගැනීමේ අයිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිදි සැම පොදු අධිකාරියක් ම සිය ලේඛන වාර්තා ආදිය සුචියක් සහිතව නාමාවලි ගත කොට පවත්වා ගත යුතු බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ වෙසෙසින් ම සඳහන් වේ . සිය දෛනික කටයුතු වල දී අභිනවයෙන් සකස් කරන හෝ සකස් කරවන හැම ලියවිල්ලක් ම පොදුවේ භාවිතා කළ හැකි සංඛ්‍යාංක ආකෘති වලින් සැකසීම හැම පොදු අධිකාරියක් ම සාමාන්‍ය පුරුද්දක් ලෙස කරන කටයුත්තක් බවට පත් විය යුතු ය.
තොරතුරු අයිතිය පිළිබඳ අපේ නීතිය මෙන් නොව ඉන්දීය තොරතුරු අයිතිය පිළිබඳ නීතියට අනුව නම් සංඛ්‍යාංක ආකෘති (digital formats) වලට හැරවිය හැකි සියලු ම ලියකියවිලි පරිගණක ගත කොට රට පුරා ඕනෑම තැනක සිට ප්‍රවේශය ලබාගත හැකි අන්දමින් පරිගණක ජාලයකට සම්බන්ධ කළ යුතු ය. ඉන්දීය නීතියේ…..අවශ්‍ය සම්පත් ලබාගැනීමේ හැකියාවට යටත් ව පරිගණක කිරීමට උචිත සියලු වාර්තා, සහේතුක කාලපරිච්ඡේදයක් තුළ විවිධ පරිගණක පද්ධති ඔස්සේ රට පුරා ලබාගත හැකි අන්දමට ජාල ගත කළ යුතුයැ’යි නීතියෙන් නිශ්චය කොට දක්වා තිබේ .
අපේ පොදු අධිකාරි භාරයේ ඇති වාර්තා, ලිය කියවිලි ආදිය බොහෝ විට පවතින්නේ දෘඪ පිටපත් සහ වෙනත් විනාශයට පත් වන සුලු ආකෘති වලිනි. එබැවින් හැම පොදු අධිකාරියක් ම තම ආයතනය සතු නිරන්තර ඉල්ලුම් වලට ලක් වෙන තොරතුරු වලින් පටන් ගෙන සංරක්ෂණාගාර වල ඇති තොරතුරු ද ඇතුළු ව හඳුනා ගත් සියලු වැදගත් තොරතුරු අනුක්‍රමයෙන් සංඛ්‍යාංකනය කිරීම සඳහා සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කළ යුතු ය.
සංඛ්‍යාංකනය යනු භෞතික මාධ්‍යවල ලිඛිත ව පවතින ලිපි ලේඛන වල අඩංගු තොරතුරු සංඛ්‍යාංක ක්‍රමයට පරිවර්තනය කර ගබඩා කිරීමයි. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 7(3) වගන්තියට අනුව සියලු පොදු අධිකාරි තමන් සතු තොරතුරු ඒවායේ සම්භවය අනුව අවුරුදු 10 සිට 12 දක්වා කාලයකට සංරක්ෂණය කර තැබිය යුතු ය. උචිත තොරතුරු කළමනාකරණ ක්‍රමයකට අනුව ලියකියවිලි සංඛ්‍යාංකනය කිරීමෙන් ඒවා පහසුවෙන් සොයා ගත හැකි ආකාරයට සුචි ගත කොට සංරක්ෂණය කර තැබිය හැකි වේ.
තොරතුරු සංඛ්‍යාංකනය කිරීම සැලසුම් කිරීමේ දී දැනට ඒ සඳහා ආයතනය සතු ව තිබෙන සම්පත් සහ කාර්මික පහසුකම් උපරිම අන්දමින් යොදා ගත හැක්කේ කෙසේ දැයි සලකා බැලිය යුතු වේ. එමෙන්ම තොරතුරු සංඛ්‍යාංකනය කළ යුත්තේ සෙවුම් වදන් යොදා සෙවීම පහසු පොදුවේ සොයා ගත හැකි පීඩීඑෆ්, (PDF)වර්ඩ් (WORD), ආර්ටීඑෆ් (RTF)වැනි වඩාත් පොදු ෆයිල් ආකෘති වලිනි. සංඛ්‍යාංකනය සඳහා සුදුසු තොරතුරු තෝරා ගන්නා විට මහජන තොරතුරු ඉල්ලුම ඉටු කිරීමට අත්‍යවශ්‍ය වන තොරතුරු මූලික පදනම කොට ගෙන අනුක්‍රමයෙන් අනෙකුත් ක්ෂේත්‍ර ද ආවරණය වන ලෙස තොරතුරු සංඛ්‍යාංකන වැඩ පිළිවෙළ සකස් කර ගත හැකිය.
බොහෝ රාජ්‍ය ආයතන විවිධාකාර ප‍්‍රයෝජනවත් දත්ත (data) නිෂ්පාදනය කරති. මහජන ප්‍රයෝජනය සඳහා නිකුත් කිරීමට පෙර එම දත්ත වල නිරවද්‍යතාව තහවුරු කිරීම අදාළ පොදු අධිකාරයේ වගකීමකි. සංඛ්‍යාංකනය කළ දත්ත කට්ටල (datasets) මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර පහත සඳහන් කරනු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.
සියලු දත්ත කට්ටල එක්සෙල්, සීඑස්වී සහ එක්ස්එම්එල් වැනි විවෘත ආකෘති වලින් තිබිය යුතු ය.
තොරතුරු නිසැකව සහ පහසුවෙන් සොයා ගත හැකි අන්දමට ඒවා ප්‍රමිති ගත මෙටා දත්ත ප්‍රමිති (metadata standards) අනුව හඳුනා ගැනීමේ පද සහිතව පවත්වා ගත යුතු ය. සංඛ්‍යාකිත දත්ත නිකුත් කරන විට පහත දැක්වෙන කරුණු පිළිබඳ ව ද සැලකිලිමත් විය යුතු වේ.
• දත්ත භාවිතා කිරීම පිළිබඳ පැහැදිලි අවසරය දක්වා තිබිය යුතු ය.
• එක්රැස් කළ දත්ත කල් නො යවා ප්‍රසිද්ධ කළ යුතු ය.
• දත්ත පළ කිරීමේ දී වාණිජ රහස්‍යභාවය හෝ බුද්ධිමය දේපළ පිළිබඳ නීති උල්ලංඝනය නො කළ යුතු ය.
• දත්තවල ගුණාත්මක බව සහ දිගින් දිගටම එකී දත්ත නිපදවීමට බලාපොරොත්තු වන්නේ ද යන බව.
පොදු අධිකාරියකට තමන් භාරයේ ඇති තොරතුරු සංඛ්‍යාංකනය කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අපහසු වේ නම් හෝ සංඛ්‍යාංකනය කළ යුතු තොරතුරු ප්‍රමාණයෙන් අති විශාල නම් හෝ බාහිර පාර්ශවයක් යොදා ගැනීම මගින් තොරතුරු සංඛ්‍යාංකනය ඉටු කර ගැනීමට සිදු විය හැකිය. මේ නිසා එවැනි අවස්ථාවල දී අවශ්‍ය පිරිවැය දැරීමට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම ආයතනයේ වාර්ෂික අයවැයේ අඩංගු විය යුතු ය. තොරතුරු සංඛ්‍යාංකනය කිරීම ව්‍යවසායකයන් අතර ව්‍යාපාරයක් වශයෙන් දියුණු වීමට ද එය හේතුවක් විය හැකියි. ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම නිසා පොදු අධිකාරි වල විනිවිද භාවය සහ වගවීම වැඩි වීම ද ඇතුළුව ඇති විය හැකි විවිධාකාර පල ප්‍රයෝජන මහජන ආයතන භාරයේ පවතින වැදගත් තොරතුරු අනුක්‍රමයෙන් සංඛ්‍යාංකනය කිරීම පිණිස සැලකිය යුතු ආයෝජනයක් කිරීම ඉඳුරා ම සාධාරණීකරණය කරයි.
අනුකූලතාව (Compliance) පිළිබඳ ගැටලු
ප්‍රගාමී තොරතුරු අනාවරණය විවෘත ආණ්ඩුවක් පිළිබඳ මූලික කොන්දේසියක් වශයෙන් ආණ්ඩු නායකයන් විසින් ප්‍රත්‍යක්ෂණය කර නො ගනු ලබන තාක් ආණ්ඩුවකින් පාරදෘෂ්‍යභාවය හෝ වගවීම බලාපොරොත්තු විය නොහැකිය. මහජන සංනිරීක්ෂණයට ඇති බිය, රජයේ වැඩසටහන් වල අසාර්ථකත්වය හෙළිදරව් වීමට ඇති බිය, අනිසි ලෙස පුද්ගලික ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අපහසු වීම සහ දේශපාලන විරුද්ධවාදීන් හමුවේ නිරන්තරයෙන් දුර්මුඛ වීම ප්‍රගාමී තොරතුරු අනාවරණය ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩු නායකයන්ට අවශ්‍ය කෙරෙන දේශපාලන අභිලාෂය නො තිබීමට හේතු විය හැකිය. එවැනි බිය තුරන් කිරීම බොහෝ දුරට රඳා පවතින්නේ තමන් විසින් මුහුණ දෙනු ලබන වැදගත් අභියෝග අවංකව ම රටවැසියන් හා සාකච්ඡා කිරීමට නායකයන් ගේ ඇති සූදානමි කම මතයි. සාධනීය සංවාදයකට සහභාගි වීම පිණිස ආණ්ඩුව සහ පුරවැසියන් අතර අවශ්‍ය කරන විශ්වාසය ඇති කර ගැනීමට ප්‍රගාමී අන්දමින් තොරතුරු අනාවරණය කිරීම හේතු වේ. පොදු අභියෝග වලට ආමන්ත්‍රණය කිරීම පිණිස අවශ්‍ය දැනුවත් ප්‍රතිපත්ති සම්පාදනයේ ලා අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම ඒ මගින් පහසු වේ. විවෘත ආණ්ඩු පැවතිය හැක්කේ තමන්ට ඇතැ’යි සිතෙන විශිෂ්ටත්වය හා නුවණ මත පමණක් ම රඳා නො සිට මහජන උපදේශන වල අවශ්‍යතාව විශ්වාස කරන, තමන්ට ඥානාවේශය සපයන ප්‍රභවයක් ලෙස පුරවැසියන් ට සලකන නායකයන් රටකට නායකත්වය සපයන විට ය.
ප්‍රගාමී තොරතුරු අනාවරණයට වඩා පුරවැසියන්ගේ තනි තනි තොරතුරු ඉල්ලුම් පත් වලට ප්‍රතිචාර දැක්වීමට කැමැත්තක් දැක්වීම මගින් සිය පාරදෘෂ්‍යභාවය ඉහළ නැංවීම හැකි තරම් අවම උත්සාහයකට සීමා කිරීමට ඇතැම් රාජ්‍ය ආයතනයක් පෙලඹිය හැකිය. අඩු ප්‍රජාතන්ත්‍රවාදී රජයක සේවයේ ඇබ්බැහිකම් නිසා බොහෝ නිලධාරීන් තොරතුරු අනාවරණය නො කිරීම තම අධිකාරි බලයේ අත්‍යවශ්‍ය ගුණාංගයක් වශයෙන් සලකනවා විය හැකිය. එවැනි නිලධාරීන් පාරදෘෂ්‍යභාවය සහ මහජන සංනිරීක්ෂණය සලකන්නේ තමන් සතු බල පරාක්‍රමය හා බලපෑම දුර්වල කරවන්නක් ලෙස ය. පාරදෘෂ්‍යභාවය පිළිබඳ අනිවාර්ය පුහුණු වැඩසටහන් වලට අදාළ ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන් යොමු කිරීමෙන් එවැනි ආකල්ප දුරු කර ගත හැකි වේ.
පාරදෘෂ්‍යභාවය හා වගවීම පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ගතිකත්වය පවත්වා ගෙන යාම අයිතිවාසිකම් හිමිකරුවන්ගෙන් මෙන් ම අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම දරන අය ගෙන් ද ඉටු විය යුතු දෙයකි. මෙහි දී තෙයාකාරයක පරදු දරන්නන්, එනම් රාජ්‍ය නායකයන් හා ඇමතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා මධ්‍යම කළමනාකරුවන් සහ සිවිල් සමාජය වැදගත් වේ. මෙකී පාර්ශව කරුවන් සියල්ලගේ ම පූර්ණ කැපවීම හා සහභාගිත්වයකින් තොරව පාරදෘෂ්‍යභාවය සහ වගවීම යනු තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතේ පූර්විකාවට සීමා වූ හුදු වචන දෙකක් පමණක් වනු ඇත.
ප්‍රගාමී තොරතුරු අනාවරණය වඩා කාර්යක්ෂම වන්නේ මන්ද යන්න දේශපාලන නායකයන් සහ මහජන අධිකාරින් අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත් ය. ඒ සම්බන්ධ සමස්ත මූලෝපාය සකසන විට ආයතනයේ වර්තමාන ප්‍රකාශන ඇබ්බැහිකම් සහ මහජනතාවගෙන් ලැබිය හැකි තොරතුරු ඉල්ලීම ගැන ද සැලකිලිමත් විය යුතු ය. පොදු අධිකාරියේ පැත්තෙන් බලන විට ප්‍රගාමී අනාවරණයට අනුකූල වීම යනු අවශ්‍ය වූ විට අතිරේක සම්පත් ලබා ගැනීමේ හැකියාව ද ඇතුලත් ව ඉඳුරා ම ඉටු කළ හැකි දෙයක් බවට එයට ඒත්තු යා යුතු වේ. ඒ හැර වෙනත් කරුණු නිසා අනුකූලතාව දැක්වීමට යාම යනු හුදෙක් 20 වැනි රෙගුලාසියෙන් නියම කර ඇති අවශ්‍යතා ඉටු කිරීමට දරන අවම උත්සාහයක් මිස පාරදෘෂ්‍යභාවය සහ වගකීම යන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතේ එන මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරන අවංක උත්සාහයක් නොවේ.
තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව එම පනතේ වගන්ති සහ ඒ යටතේ පනවන රෙගුලාසි ක්‍රියාවට නැංවීමේ මූලික වගකීම ඒ පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යාංශයට පැවරේ. පනතේ සඳහන් වන පරිදි එය ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශයේ වගකීමකි. ඒ අනුව ප්‍රගාමී තොරතුරු අනාවරණයට අනුකූලවීම දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සම්බන්ධීකරණ අමාත්‍යාංශය මගින් පාරදෘෂ්‍යභාවය පිළිබඳ ඇගයුම් සහතිකයක් නිකුත් කිරීම ප‍්‍රයෝජනවත් වේ. පොදු ප්‍රකාශන පටිපාටියකට අනුගත ව අවම වශයෙන් තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත හා එහි රෙගුලාසි වලින් නියම කර ඇති තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කර ඇති ආයතන වලට පාරදෘෂ්‍යභාවය පිළිබඳ පදනම් සහතිකයක් නිකුත් කළ හැකිය. සම්බන්ධීකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන එවැනි සහතික කිරීම් පිළිබඳ ලාංඡන පොදු අධිකාරියේ ආයතනික වෙබ් අඩවියේ පළ කළ හැකිය. ඒ ඇර ඒ ඒ පොදු අධිකාරීන් ප්‍රගාමී තොරතුරු අනාවරණයට අනුකූල වීමේ ප්‍රමාණනය (rating) දැක්වෙන වාර්ෂික ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම පිණිස ඒවායේ වෙබ් අඩවි කලින් කලට ඇගයීමට ලක් කිරීම තොරතුරු අයිතිය ඉටු කර දීම සම්බන්ධ ව පොදු අධිකාරීන් සතු මහජන වගවීම ක්‍රියාත්මක කිරීමේ ලා ඵලදායක වැඩ පිළිවෙළකි. එ් අනුව පොදු අධිකාරියක ප්‍රගාමී තොරතුරු අනාවරණයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බව ආයතනයේ කාර්ය ඵල විශිෂ්ටත්වය පිළිබඳ වැදගත් දර්ශකයක් වශයෙන් යොදා ගත හැකිය.
ප්‍රතික්‍රියක අනාවරණය යනුවෙන් හැඳින්වෙන තනි ඉල්ලීමකට පිළිතුරක් වශයෙන් අදාළ තොරතුර සැපයීම යනු තොරතුරු අයිතිවාසිකම අඩ වශයෙන් ඉටු කිරීමකි. පුරවැසියන්ට තම තොරතුරු අයිතිවාසිකම පූර්ණ වශයෙන් භුක්ති විඳීමට ඉඩ සැලසෙන්නේ අපේ තොරතුරු අයිතිය පිළිබඳ පොදු ප්‍රතිමානය ප්‍රගාමී තොරතුරු අනාවරණය වූ විට ය.
විජයානන්ද ජයවීර
(ලේඛකයා යුනෙස්කෝ ආයතනයේ සංනිවේදන ප්‍රවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කොට විශ්‍රාම ගත්තේ ය.)